ඉස්ලාම් භීතිකාව: බ්‍රිතාන්‍ය පාලක පක්ෂයෙන් පුළුල් පරීක්ෂණයක්

ඉස්ලාම් විරෝධී (Islamophobic) තොරතුරු අනුමත කළ සහ අන්තර්ජාලය ඔස්සේ එවැනි අදහස් ප්‍රකාශයට පත් කළ බ්‍රිතාන්‍ය කොන්සර්වේටිව් පක්ෂ සාමාජිකයින් ගණනාවකගේ සාමාජිකත්වය අත්හිටුවා තිබේ.

මෙවැනි නවතම සිදුවීම් 20 කට අධික සංඛ්‍යාවක් පිළිබඳව බීබීසීය වාර්තා කර තිබූ අතර, ට්විටර් සහ ෆේස්බුක් ඔස්සේ මුස්ලිම් විරෝධී ප්‍රකාශන හුවමාරු (share) කරගත් හෝ ඊට සහාය පළකරමින් හැසිරුණු පක්ෂ සාමාජිකයන් බව තහවුරු වූ සියලු දෙනාගේ සාමාජිකත්වය වහාම අත්හිටවූ බව එම පක්ෂය තහවුරු කළේය.

කෙසේ වෙතත්, එළෙස සාමාජිකත්වය අත්හිටවූ සාමාජික සංඛ්‍යාව කොපමණ දැයි මෙතෙක් නිලධාරීන් හෙළි කර නැත.

කොන්සර්වේටිව් ප්‍රකාශකයෙකු පැවසුවේ තම පක්ෂය මෙම ගැටළුව පිළිබඳව පුළුල් ලෙස විමර්ශනය කිරීමද අදාළ කොන්දේසි සකස්කරමින් සිටින බවය.

පක්ෂයට මෙන්ම ජනමාධ්‍ය විසින් ද මීට ඉහතදී ඉස්මතු කර ඇති පෙර සිදුවීම් ද පදනම් කරගනිමින්, ඉස්ලාමීය භීතිකාව සමාජගත කළ බවට චෝදනා ලද සාමාජිකයින් පිළිබඳ ස්වාධීන පරීක්ෂණයක් පවත්වන ලෙස කන්සර්වේටිව් පක්ෂයට නැවත නැවතත් ඉල්ලීම් ඉදිරිපත් වන බවද වාර්තා වේ.

මෙලෙස සමාජ මාධ්‍යවල හුවමාරු වී ඇති බව සැළකෙන එවැනි අන්තර්ගතයන් අතර, කොන්සර්වේටිව් පක්ෂයේ පළාත් පාලන සභිකයෙකු පසුගිය මාර්තු මාසයේ ට්විටර් පණිවිඩයකට දැක්වූ ප්‍රතිචාරයක මෙසේ සඳහන් කර තිබිණ.

“ඉස්ලාමය සහ වහල්භාවය අපරාධවල හවුල්කරුවන් වේ.”

මේ පිළිබඳව කළ විමසුමකදී ඔහු කියා සිටියේ බීබීසී ය තම අදහස් වැරදි ලෙස අර්ථනිරූපණය කර ඇති බවය. එමෙන්ම සෙසු පුද්ගලයින් ගේ ජාතිය හෝ ආගම අනුව තමා ඔවුන් විනිශ්චය නොකරන බවද ඔහු පැවසීය.

වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු පවසා තිබුණේ, තමා පළ කළ ට්විටර් පණිවුඩ 10,000 ත් 15,000 ත් අතර ප්‍රමාණයකින් තුනක් පමණක් ඉස්මතුකර දැක්වීම බීබීසී ය “කොන්සර්වේටිව් පක්ෂය අවමානයට පත්කිරීමට” දරන උත්සාහයේ කොටසක් ලෙසය.

“රටේ මුස්ලිම් අන්තවාදයක් වගේම සිංහල බෞද්ධ අන්තවාදයකුත් තිබෙනවා”
බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් 2012 වසරේ නගරාධිපති සටනට ඉදිරිපත්ව වූ අවදියේ එම ඡන්ද ව්‍යාපාරයට සක්‍රියව දායකත්වය දුන් බව පවසන නාගරික මන්ත්‍රීවරයෙක්, “ඉස්ලාමය යනු වෛරයේ ආගමයි” යනුවෙන් ට්විටර් පණිවුඩයක් පළකර තිබිණ.

කෙසේ වෙතත් ඒ පිළිබඳව විමසූ විට ඔහු බීබීසීයට පැවසුවේ තමා අදේවවාදියෙකු බවත්, ක්‍රිස්තියානි ධර්මය හා අනෙකුත් සියලුම ආගම් තමා එක හා සමානව විවේචනය කළ බවය.

මේ හා සම්බන්ධයෙන් පළවූ වෙනත් අදහස් අතර “මුස්ලිම් වංචාව” සහ “මට මේ රටේ මුස්ලිම්වරුන් අවශ්‍ය නැත” වැනි අදහස් ඇතැම් පුද්ගලයින් පළ කර තිබිණ.

පක්ෂ ආරංචි මාර්ග සඳහන් කළේ, අදාළ සෑම සිද්ධියකටම කොන්සර්වේටිව් පක්ෂයේ සාමාජිකයින් සම්බන්ධ නැති බවය.

පක්ෂයේ ප්‍රකාශකයෙකු පැවසුවේ, “පක්ෂ සාමාජිකයන් බව පෙනී ගිය සියලු දෙනා ගේ සාමාජිකත්ව වහාම අත්හිටුවා ඇති අතර, පරීක්ෂණ පැවැත්වෙමින් තිබේ” යනුවෙනි.

“කිසිම ආකාරයක අගතියක් සහ වෙනස් ලෙස සැලකීමක් සම්බන්ධයෙන් කොන්සර්වේටිව් පක්ෂය කිසි විටෙකත් පෙනී නොසිටිනු ඇත,” යනුවෙන්ද ඔහු පවසන්නේය.

“විධිමත් ක්‍රියාමාර්ග”
වෙළෙඳ අමාත්‍ය ක්වාසි ක්වාර්ටෙන්ග් බීබීසී ගුවන් විදුලියේ ටුඩේ වැඩසටහනට පැවසුවේ තම පක්ෂය ඉස්ලාම් භීතිකාව සමාජ ගතකළ බවට නැගෙන චෝදනා සම්බන්ධයෙන් ස්වාධීන පරීක්ෂණයක් සිදුවෙමින් පවතින්නේ යයි තමා විශ්වාස කරන මුත් ඒ පිළිබඳ වැඩිදුර තොරතුරු සැපයීමට හැකියාවක් නොමැති බවය.

එමෙන්ම තම පක්ෂය “මෙම ගැටලුව ග්‍රහණය කර ගැනීමට උත්සාහ කරමින්” සිටින බවත්, බීබීසී විසින් එය ඉස්මතු කරන අවස්ථාව වනවිටත් “විධිමත් ක්‍රියාමාර්ග” ගෙන තිබූ බවත් ඔහු සඳහන් කළේය.

මේ අතර 2018 සිට බ්‍රිතාන්‍යයේ මුස්ලිම් කවුන්සිලය, ඉස්ලාම් භීතිකාව සම්බන්ධයෙන් නැගෙන චෝදනා ගැන ස්වාධීන පරීක්ෂණයක් ආරම්භ කරන ලෙස කොන්සර්වේටිව් පක්ෂයෙන් ඉල්ලා සිටී.

එමෙන්ම පසුගිය මැයි මාසයේදී එම කවුන්සිලය බ්‍රිතාන්‍යයේ “සමානාත්මතා හා මානව හිමිකම් කොමිසමෙන්” ද නිල වශයෙන් ඉල්ලා සිටියේ එවැනි පරීක්ෂණයක් පවත්වන ලෙසය.

තවද මෙවැනි සිදුවීම් සම්බන්ධයෙන් කන්සර්වේටිව් පක්ෂය ඉදිරිපත් කර ඇති සංඛ්‍යා ලේකන මෙන්ම, අග්‍රාමාත්‍ය ධුරයට පත්වීමට පෙර මුස්ලිම් කාන්තාවන් පිළිබඳව කළ ප්‍රකාශ සම්බන්ධයෙන් බොරිස් ජොන්සන් ඇතුළු පක්ෂයේ සෙසු පුද්ගලයින්ට එරෙහිව ද බ්‍රිතාන්‍යයේ මුස්ලිම් කවුන්සිලය පැමිණිලි මාලාවක් ඉදිරිපත් කර තිබේ .

මේ අතර කොන්සර්වේටිව් පක්ෂයේ නායකත්වය වෙනුවෙන් පැවති තරඟය අතර තුරදී, එවකට ස්වදේශ කටයුතු ලේකම් ලෙස කටයුතු කළ සජිඩ් ජාවිඩ් සෙසු අපේක්ෂකයින්ට අභියෝග කර සිටියේ මෙම සිදුවීම් හා සම්බන්ධ බාහිර පරීක්ෂණයක් සඳහා ඉදිරිපත් වන ලෙසය.

එම අභියෝගය සම්බන්ධයෙන් සෙසු අපේක්ෂකයින් ප්‍රතිචාර පළ කළ බවක් පෙනෙන්නට තිබුණි.

කෙසේවෙතත් පසුව, අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් කියා සිටියේ තමන් ඇතුළු පිරිස, විශේෂයෙන් ඉස්ලාම් භීතිකාව ගැන පමණක් නොව “යුදෙව් විරෝධය ඇතුළු සියලු ආකාරයේ අගතිගාමී ක්‍රියා සහ අඩුසැලකිළි දක්වන බවට වන චෝදනා” පිළිබඳ පරීක්ෂණ සඳහා කැපවී සිටින බවය.

‘සාරධර්ම’
“කොන්සර්වේටිව් පක්ෂයේ ඇතැම් ජ්‍යෙෂ්ඨ සාමාජිකයන්ගේ ඉස්ලාම් භීතිකාව අන්තර්ගත වූ සංවාදවලට මා ද සෘජුව ලක් වී තිබෙනවා. ඇත්ත වශයෙන්ම ඇතැමුන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ඔවුන්ගෙන් එක් අයෙක් මේ මොහොතේත් අමාත්‍යවරයෙක් ලෙස කටයුතු කරන අයෙක්,” කොන්සර්වේටිව් පක්ෂයේ සාමාජිකයෙකු මෙන්ම යුරෝපා පාර්ලිමේන්තුවේ හිටපු මන්ත්‍රීවරයෙකු වූ සජාඩ් කරීම් බීබීසී යට කියා සිටියේය.

“අවසාන වශයෙන්, අපි ඉස්ලාම් භීතිකාව හෝ වෙනත් ආකාරයක වෙනස්කම්කම් කිරීමකට ඉඩ දෙන්නේ නම්, අප ඇත්ත වශයෙන්ම කරන්නේ අපේම සාරධර්මවලට වල කපා ගැනීමක්.”

“එය ඉදිරි දශක කිහිපය තුළ වෙනස් ආකාරයක සමාජයක් වර්ධනය වීමට තුඩු දේවි. එය බොහෝ බ්‍රිතාන්‍යයන් අපේක්ෂා කරන දෙයක් නොවේ.”

සජාඩ් කරීම් අදාළ ඇමතිවරයාගේ නම හෙළි නොකළ ද පරීක්ෂණ සඳහා අවශ්‍ය නම් එය කොන්සර්වේටිව් පක්ෂ මූලස්ථානයට ලබා දීමට සූදානම් ඔහු පැවසීය.

උපුටා ගැනීම: බීබීසී සිංහල වෙතින්

Avatar

About බීබීසී සිංහල

View all posts by බීබීසී සිංහල →