කොරෝනාවට එරෙහි සටනේ සෙබළුන් වෙමු

කොරෝනා වෛරසයට එරෙහිවූ යුද්ධය තුන්වෙනි ලෝක සංග්‍රාමය වශයෙන් හැඳින්වීම සුදුසුදැයි මා නොදනිමි. එහෙත් වෛරසයක් හා මිනිසා අතර ආරම්භ වී ඇති මෙම යුද්ධය ජාත්‍යන්තරයවී හමාරය. එම අරුතින් ලෝක සංග්‍රාමය යයි කීම සුදුසු විය හැකිය.

වර්ග අතර, ආගම් අතර, ජාතීන් අතර සිදුවෙන යුද්ධය මෙන් නොව සමස්ථ මිනිස් වර්ගයා එක පැත්තකින්ද වෛරසය අනෙක් පාර්ශවයේද සිටිමින් කරන සටනක් වශයෙන් මෙය හැඳින්විය හැකිය.

මිනිස් වර්ගයා වෙනුවෙන් මෙම යුද්ධයේ නිරතවන්නේ සමස්ථ ලෝකයේම වෛද්‍ය බලකායයි. තම ජීවිතය පරදුවට තබා වෛද්‍යවරුන් හා එම කේෂ්ත්‍රයේ පිරිස් ඉතා කැපවීමෙන් කටයුතු කරති. ජාති ආගම්, කුල, භාෂා, ප්‍රදේශ වෙනස්කම් පසෙකලා මිනිස් වර්ගයා ආරක්ෂා කිරීමේ ඒකායන අරමුණින් ඔව්හූ සටන් කරති. කිසියම් අයෙකුට මෙම වෛරසය ආසාදනය වුවහොත් ඊලඟ මොහොතේ සිට ඔහුගෙන් තවත් අයෙක් ආසාදනය වීමේ ප්‍රවනතා ඇත. එම දෙවැන්නා මා විය හැකිය යන අවදානමෙන් යුතුව ඔව්හූ කටයුතු කරමින් සිටින බව පෙනේ.

මෙය කෝටි ත්‍රස්ථවාදයට එරෙහිව කල යුද්ධය මෙන් නොවේ. මිනිසුන් අතර යම් සටනක් ඇතිවූ කලක එය අවසාන වීමත් සමග එහි බලපෑම්ද අවසන් විය හැකිය. එහෙත් කොරෝනා වෛරසය සටන අවසන් වන විටත් බලපෑම් වැඩිවිය හැකිය. හේතුව මෙම වෛරසය සැඟවී සිටිමින් අනුන්ට පහර දෙන ගොරිල්ලා සටන් ක්‍රමය භාවිතා කිරීමයි. යම් ආසාදිතයෙක් තුල දින දාහතරක් සැඟවී සිටිමින් අනුන්ට පහර දීමේ හැකියාව මෙම වෛරසයට තිබේ. දින 14ක් තුල ඔවුන් නොදැනම කී දෙනෙකුට පහර දෙන්නේ දැයි නිස්චිතවම කිව නොහැකිය. ආසාදනයට ලක්වූ අයද දැනගන්නේ පසුවය. ඒ වනවිට අශ්වයින් පැනගොස් හමාරය.

එම නිසා වෛද්‍ය බලකාය සමග තවත් බොහෝ සේනා එකතුවී මෙම සටන ජයගත යුතුව ඇත. කොරෝනා ආසාදනයට ලක්වූ හා ලක්නොවූ සියලුදෙනා මෙම සටනේ සැබළුන් විය යුතුය. සමස්ථ මිනිස් බලයම මෙම වෛරසයට එරෙහිව සටන් කිරීමට එක්විය යුතුය.

වෛරසයට සෙන්ටිමීටරයක් හෝ එහා මෙහා වීමට ඉඩනොදී ආරක්ෂා කල යුතුය. වෛරසය නමැති වඳුරා තවත් මිනිසෙකු වෙත පැනීමට ඉඩනොතැබිය යුතුය. ඒ සඳහා එක් එක් අයම දුරස්ථ විය යුතුය. වෙනදා පුරුදු සම්මුඛ වීමෙන් බැහැර විය යුතුය. දැනට අණාවරනය වී ඇති ආකාරයට එක් එක් අයම අවම වශයෙන් මීටරයක දුරස්ථභාවයක් පවත්වාගෙන යා යුතුය. මුළු මහත් මිනිස් බලකායේ කාර්යය මෙයයි. දැනටමත් දස දහසකට වැඩි පිරිසක් මරණයට පත්වි තවත් ලක්ෂ දෙකකට වැඩි පිරිසක් අවදානම් තත්වයට තබා ඇති ව්‍යසනයට වගකිව යුත්තේ කව්රුන් ද, කොරෝනා වෛරසයේ බලය ද මිනිසාගේ දුර්වලතාවය ද කියා ප්‍රශ්න කිරීමට සිදුවී ඇත.

කෙසේ වෙතත් හදිස්සිය. අනවශ්‍ය වේගය නොඉවසිල්ල තමන්ගේ හැඟීමට මුල්තැන දීම තමාගේ පුහුණු පුරුදු වෙනස්කර ගැනීමට මැඩිවීම වගකීමෙන් තොරව කටයුතු කිරීම රජයේ හා වෛද්‍යවරුන්ගේ උපදෙස් පිටුදැකීම වැනි මිනිස් දුර්වලතා නිසා මෙම අල්ප වෛරසය මුළු මිනිස් වර්ගයාට වෙලාගෙන ඇත.

ඇත්ත වශයෙන්ම මෙතරම් විනාශයක් සිදුවීමට හේතුව වෛරසයේ ප්‍රබලතාවය නොවේ. මිනිසුන්ගේ දුර්වලතාවයයි. මෙම මහා ව්‍යසනය ඇතිවීම කෙරෙහි මෙම මිනිස් දුර්වලතා බලපෑ ඇති බව පිළිගත යුතුය. එම දුර්වලතා වර්ධනය කලේ වර්තමාන ලෝකයේ නව ප්‍රවනතා හා හැසිරීම් රටාවයි යනුවෙන් කීම අතිශයෝක්තියක් නොවනු ඇත.

තම දෛනික පුරුද්ද අවදානම් තත්වයකදී පවා වෙනස් නොකර ගැනීම සම්බන්ධයෙන් නිදසුනක් කියන්නේනම් මුස්ලිම්වරුන් එකිනෙකා හමුවීමේදී කරන අතට අත දීම කිව හැකිය. මෙය සාමාන්‍ය තත්වයකදී අගය කල යුතු අංගයක් වූවද මෙවැනි අවදානම් තත්වයකදී මෙහි ඇති භයානක තත්වය තේරුම්නොගෙන කෙනෙකු හමුවූ වහාම අතදිගු කිරිම සුදුසුදැයි කල්පනා නොකිරීම කොතරම් කනගාටුදායක තත්වයක් ද? මෙසේ පෙන්වා දිය හැකි තවත් අවස්ථා රාශියක් වේ. පල්ලියට යෑම වැදගත්ය. ජීවත්වීම එයට වඩා වැදගත්ය.

මෙම මහා සංග්‍රාමයෙන් මිනිස් වර්ගයා ජය ගැනීමට සියළු දෙනාම තම උපරිම දායකත්වය ලබාදීම බුද්ධියක් ඇති කාගෙත් වගකීමකි.

-උපුටා ගැනීම: උස්තාද් හජ්ජුල් අක්බර් පිටුවෙනි

Avatar

About උස්තාද් හජ්ජුල් අක්බර් පිටුවෙන්

View all posts by උස්තාද් හජ්ජුල් අක්බර් පිටුවෙන් →