කොරෝනා වෛරසය: මොකක් ද මේ? වළක්වා ගන්නේ කෙසේ ද?

කොරෝනාවෛරසය ආසාදනය වී ඇති බවට ශ්‍රී ලංකාවේදී තහවුරු වූ පුද්ගලයින් සංඛ්‍යාව 18ක් දක්වා ඉහළ ගොස් තිබේ. ඉරිදා (මාර්තු 15) පස්වරුවේ තහවුරු කෙරුණු ආසාදිතයින් 7 දෙනා ම පිරිමි පුද්ගලයින් වූ අතර ඔවුන් සියලු දෙනා ඉතාලියේ සිට පැමිණි අය බව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂවරයා තහවුරු කළේය.

කුමක් ද මේ වෛරසය?
කොරෝනාවෛරස (CoV) යනු සෙම්ප්‍රතිශ්‍යාවේ සිට දරුණු නිදන්ගත ශ්වසන රෝග දක්වා වර්ධනය විය හැකි රෝගාබාධ ඇති කරන විශාල වෛරස් ‘පවුලකි’.

නමුත් මේ වන විට පැතිරී යන නව කොරෝනාවෛරසය (nCoV) මින් පෙර පුද්ගලයන්ට ආසාදනය වූ බව හඳුනාගෙන නොතිබිණි.

කොරෝනාවෛරසය සතුන්ගෙන් මිනිසුන්ට සම්ප්‍රේෂණය වේ. සවිස්තරාත්මක පරීක්ෂණවලින් හෙළි වූයේ මින් පෙර ලොව පුරා ව්‍යාප්ත වූ සාර්ස් කොරෝනාවෛරසය (SARS-CoV) උරුලෑවන්ගෙන් ද මර්ස් කොරෝනාවෛරසය (MERS-CoV) ඔටුවන්ගෙන් ද මිනිසුන්ට සම්ප්‍රේෂණය වී ඇති බවය. මෙතෙක් මිනිසුන්ට ආසාදනය වී නොමැති කොරෝනාවෛරස කිහිපයක් සතුන් අතර සංසරණය වන බව හඳුනාගෙන තිබේ.

මෙවැනි වෛරසයක් ආසාදනය වූ පුද්ගලයෙකුට ශ්වසන රෝග, උණ, කැස්ස, හුස්ම හිරවීම සහ හුස්ම ගැනීමේ අපහසුතා වැනි රෝග ලක්ෂණ ඇති විය හැකිය. වඩාත් දරුණු අවස්ථාවලදී, නියුමෝනියාව, දරුණු නිදන්ගත ශ්වසන රෝග, වකුගඩු අකර්මණ්‍ය වීම සහ මරණය පවා සිදු විය හැකිය.

නව කොරෝනාවෛරස රෝගයේ ලක්ෂණ මොනවා ද?
කොවිඩ් 19 ලෙස නම් කර ඇති නව කොරෝනාවෛරසය මගින් ඇති වනුයේ, ශ්වසන රෝගී තත්ත්වයකි. එය උණ රෝගී තත්ත්වයකින් ආරම්භ වන අතර පසුව වියළි කැස්සක් ඇති වේ. සතියකට පසු හුස්ම ගැනීමේ අපහසුතාවක් ඇති වන අතර ඇතැම් රෝගීන්ට රෝහල්ගත වී ප්‍රතිකාර ගැනීමට සිදුවිය හැකිය.

මෙම රෝග ලක්ෂණ ඇති පමණින් ඔබට කොරෝනාවෛරසය ආසාදනය වී ඇතැයි නිශ්චිතව කිව නොහැක. මේ රෝග ලක්ෂණ උණ සහ සෙම්ප්‍රතිශ්‍යාව වැනි වෙනත් සාමාන්‍ය වෛරස් ආසාදනය වීමෙන් ඇති වන රෝග ලක්ෂණවලට සමානය.

වඩාත් දරුණු තත්ත්වයකට හැරුණු විට, කොරෝනාවෛරසය ආසාදනය වීමෙන් නියුමෝනියාව, සාර්ස්, අවයව ක්‍රියා විරහිත වීම සහ මරණය පවා සිදු විය හැක.

එය බෝ වන්නේ කෙසේද?
පුද්ගලයෙකුගෙන් තවත් පුද්ගලයෙකුට කොරෝනාවෛරසය බෝවනුයේ කෙසේ ද යන්න පිළිබඳව තවමත් නිශ්චිතව හඳුනාගෙන නොමැත. කෙසේවෙතත්, මීට සමාන වෛරස් බෝවීම සිදු වන්නේ, කැස්ස, කිවිසුම් වැනි අවස්ථාවලදී නිකුත් වන ඛේටයහෝ සෙම් මගිනි.

එමෙන් ම, ආසාදිත පුද්ගලයෙකුගෙන් පිටවන ඛේටය හෝ සෙම් බිඳිති යම් මතුපිටක තැවරී තිබිය හැකි අතර, එහි ඇති වෛරසය දින ගණනාවක් ක්‍රියාකාරීව පවතින බව විශේෂඥයෝ පවසති.

රෝග ලක්ෂණ පෙන්නුම් කිරීමට කොපමණ කලක් ගතවේද?
වෛරසය ආසාදනය වූ අවස්ථාවේ සිට රෝග ලක්ෂණ පෙන්නුම් කිරීම සඳහා දින 14ක කාලයක් ගත වන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. එහෙත්, ඇතැම් පර්යේෂකයින් පවසන්නේ, රෝග ලක්ෂණ මතු වීම සඳහා දින 24ක් දක්වා කාලයක් ගත වන බවය.

වෛරසය බෝ වීම වළක්වා ගන්නේ කෙසේ ද?

  • නිතර ම දෙඅත් සබන් ගා හොඳින් සෝදා ගත යුතු අතර, මෙය පොදු ස්ථානයක ගැවසීමෙන් පසු අනිවාර්යයෙන් සිදු කළ යුතුය.
  • දෙඅත් පිරිසිදු කර ගැනීමට වෙනත් ආදේශක ද්‍රාවණයක් (hand gel) වුව ද භාවිත කළ හැකිය.
  • කැස්ස සහ කිවිසුම් යාමේදී මුඛය සහ නාසය ලේන්සුවක් හෝ ටිෂූ කඩදාසියකින් ආවරණය කර ගත යුතුය.
  • භාවිතයෙන් පසු ටිෂූ කඩදාසිය ක්‍රමානුකූලව ඉවත දැමිය යුතුය.
  • ටිෂූ කඩදාසි නොමැති අවස්ථාවක වැළමිට නවා අතේ උඩ කොටසෙන් මුහුණ ආවරණය කර කැස්ස හෝ කිවිසුම් යැවීම සිදු කළ යුතුය.
  • නොසේදූ අත්වලින් මුහුණ ස්පර්ශ නොකළ යුතුය.
  • ආසාදිතයින් සමීපයට යාමෙන් වැළකී සිටිය යුතු අතර, පොදු ස්ථානවල නිකරුණේ ගැවසීමෙන් වැලකී සිටිය යුතුය.
  • මස් සහ බිත්තර හොඳින් පිස ආහාරයට ගැනීම සිදු කළ යුතුය.
  • වන සතුන්ගෙන් මෙන් ම ගොවිපොළවල සේවය කරන්නේ නම් රෝගී සත්ත්වයන්ගෙන් ඈත් වී සිටිය යුතුය.
  • මියගිය සතුන් පරිභෝජනයට නොගත යුතුය.

කොරෝනාවෛරසය සහ සාමාන්‍ය උණ අතර වෙනස කුමක් ද?
කොරොනාවෛරසය සහ සාමාන්‍ය උණ අතර බොහෝ සමාන රෝග ලක්ෂණ තිබීම හේතුවෙන් නිසි වෛද්‍ය පරීක්ෂණයකින් තොරව රෝග විනිශ්චය අපහසු වේ.

කොරෝනාවෛරසයේ අවධානය යොමු කළ යුතු ප්‍රධාන රෝග ලක්ෂණ වන්නේ උණ සහ කැස්සය. සාමාන්‍ය උණ රෝගවලට බොහෝ විට සෙම්ගෙඩි වැනි වෙනත් රෝග ලක්ෂණ ඇති වන නමුත්, කොරෝනාවෛරසය ආසාදනය වූවන්ට හුස්ම ගැනීමේ අපහසුතාවක් දැනේ.

රෝග ලක්ෂණ පහළ වූ විට කළ යුත්තේ කුමක් ද?
ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය පවසන්නේ, අදාළ රෝග ලක්ෂණ ඇත්නම් වහා රෝහලක් කරා ගොස් ප්‍රතිකාර ගත යුතු බවය.

මේ අතර, වෛරසය ආසාදනය වූ පුද්ගලයෙකු සමීපව ඇසුරු කළේ නම් ඔබ ස්වයං හුදෙකලා වීම සුදුසු බව එංගලන්තයේ මහජන සෞඛ්‍ය ආයතනය (PHE)පවසයි. ඉන් ඔබ තුළින් වෙනත් පුද්ගලයින්ට වෛරසය ආසාදනය වීම වැළකේ.

ස්වයං හුදකලා වීම යනු කුමක් ද?
කොරෝනාවෛරස ආසාදිතයන් වැඩි පිරිසක් වාර්තා වූ රටවල සුළු රෝග ලක්ෂණ පෙන්නුම් කළ පුද්ගලයන් සිය නිවස තුළ ස්වයං හුදෙකලා වීම සඳහා යොමු කරමින් සිටියි.

  • නිවස තුළ හොඳින් වාතාශ්‍රය තිබෙන කාමරයක හෝ යම් කොටසක රැඳී සිටිය යුතුය.
  • නිවසේ අන් පුද්ගලයන්ගෙන් ඈත් වී සිටිය යුතුය.
  • නිවසින් පිටත ක්‍රියාකාරකම් සීමා කළ යුතුය.
  • පොදු ස්ථානවලට යාමෙන් සම්පූර්ණයෙන් වළකින්න.
  • පොදු ප්‍රවාහනය හෝ කුලී රථ භාවිත කිරීමෙන් සම්පූර්ණයෙන් වළකින්න.
  • ආහාර සහ ඔබට අවශ්‍ය දේ අදාළ කාමරය අසල තබා යන ලෙස ඥාතීන් හෝ මිතුරන්ට උපදෙස් ලබා දිය යුතුය.
  • හැකි නම්, ඔබ වෙන ම නාන කාමරයක් භාවිතා කළ යුතු වන අතර, එසේ නැත්නම් අන් සියලු දෙනා නාන කාමරය භාවිත කිරීමෙන් පසු ඔබ එහි යා යුතුය.
  • නිවසට අමුත්තන් පැමිණීම සම්පූර්ණයෙන් වැළැක්විය යුතුය.
  • අවශ්‍ය ඕනෑම මොහොතක වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු විය යුතුය.

වැඩි අවදානමක් ඇත්තේ කාහට ද?
රෝගය වැළඳීමේ වැඩි අවදානමක් පවතින්නේ, වයස්ගත පුද්ගලයින් සහ ඇදුම, දියවැඩියාව, හෘදයාබාධ ආදී රෝගවලින් පෙළෙන්නන්ටය.

චීනයෙන් පළමුවෙන් වාර්තා වූ ආසාදිතයන් 44,000 ට වඩා වැඩි සංඛ්‍යාවක් ඇසුරෙන් කළ විශ්ලේෂණයෙන් හෙළි වූයේ, මරණ අනුපාතය මැදිවියේ අයට සාපේක්ෂව වැඩිහිටියන් තුළ දස ගුණයකින් වැඩි බවය.

අධි රුධිර පීඩනය, පෙනහලු දුර්වලතා සහ දුර්වල ප්‍රතිශක්තිකරණ පද්ධතියක් ඇති පුද්ගලයන්ට මෙම වෛරසයේ බලපෑමෙන් එම රෝගී තත්ත්වය උත්සන්න වීමට ඉඩ ඇත.

ගර්භණී කාන්තාවන්ට වෛරසයෙන් බලපෑමක් තිබේද?
ගර්භණී කාන්තාවන් දැඩි අවදානමක සිටින කණ්ඩායමක් බවට තවමත් සාක්ෂි නොමැත. අන් අය සේ ම ඔවුන් ද ආසාදනය වීම වළක්වා ගැනීමට පියවර ගත යුතුය.

මරණ අනුපාතය මැදිවියේ අයට සාපේක්ෂව වැඩිහිටියන් තුළ වැඩි බව සංඛ්‍යාලේඛන පෙන්වා දේ.

දරුවන්ට ඇති අවදානම කුමක්ද?
චීනයේ දත්තවලට අනුව, පොදුවේ ගත් කල දරුවන්ට කොරෝනාවෛරසයේ බලපෑම සාපේක්ෂව අවම මට්ටමක ඇති බව පෙනේ.

මෙයට හේතුව ආසාදනය ශරීරයෙන් බැහැර කිරීමේ හැකියාව හෝ රෝග ලක්ෂණ මතු නොවීම හෝ සෙම්ප්‍රතිශ්‍යාවට සමාන සාමාන්‍ය රෝග ලක්ෂණ පමණක් පෙන්නුම් කිරීමය.

කෙසේවෙතත්, ඇදුම වැනි පෙනහලු ආබාධ ඇති දරුවන්ට මෙම වෛරසයෙන් බලපෑම් එල්ල වීමේ ඉඩකඩ ඇති නිසා වඩාත් සැලකිලිමත් විය යුතුය.

බොහෝ දරුවන්ට එය තවත් ආකාරයක ශ්වසන ආසාදනයක් ලෙස පෙන්නුම් කර ඇති නමුත් අනතුරු ඇඟවීමේ මට්ටමට ළඟා වී නොමැත.

කෙසේවෙතත්, වෛරසය පැතිරීම වැළැක්වීම සඳහා ශ්‍රී ලංකාවේ සියලු පාසල් අප්‍රේල් 20 වෙනිදා දක්වා වසා තැබීමට ආණ්ඩුව ක්‍රියා කර තිබේ.

එක්සත් ජාතීන්ගේ අධ්‍යාපනික, විද්‍යාත්මක හා සංස්කෘතික සංවිධානයේ (යුනෙස්කෝ) දත්ත අනුව ආසියාව, යුරෝපය, අප්‍රිකාව, මැදපෙරදිග, උතුරු ඇමරිකාව සහ දකුණු ඇමරිකාවේ රටවල් 61ක පාසල් හා විශ්ව විද්යාල වසා දැමීම් ප්‍රකාශයට පත්කර හෝ ක්‍රියාත්මක කර තිබේ.

ලොව පුරා ළමුන් හා යෞවනයන් මිලියන 400කට පමණ බලපෑම් එල්ල කරමින් රටවල් ගණනාවක් ඔවුන්ගේ රට පුරා පාසල් වසා දැමීමට ක්‍රියා කර ඇත. කොවිඩ්-19 පැතිරීම වැළැක්වීම හෝ අවම කිරීම සඳහා තවත් රටවල් අදාළ ප්‍රදේශවල පමණක් පාසල් වසා දැමීම ක්‍රියාත්මක කර ඇත.

ශ්‍රී ලංකාවේ සියලු පාසල් අප්‍රේල් 20 වන දා දක්වා වසා තැබීමට ශ්‍රී ලංකා රජය ක්‍රියා කර තිබේ.

දුම් පානය කරන්නන්ට වැඩි අවදානමක් තිබේද?
බ්‍රිතාන්‍යයේ මහජන සෞඛ්‍ය පුණ්‍යායතනයක ප්‍රධාන විධායක නිලධාරිනී ඩෙබ්රා ආර්නොට් ඉදිරිපත් කර ඇති උපදෙස් අනුව අධික ලෙස දුම් පානය කරන අය එය අවම කර හෝ සම්පූර්ණයෙන් ම නවතා දමා අවදානම අවම කර ගැනීමට උත්සහ කළ යුතුය.

“දුම් පානය කරන්නන්ට ශ්වසන ආසාදන ඇති වීමේ ඉඩකඩ වැඩිය. දුම් පානය නොකරන අයට වඩා නියුමෝනියාව වැළඳීමේ අවදානම දෙගුණයක් වෙනවා,” ඇය පැවසුවාය.

වෙනත් රෝගවලට වෛද්‍යවරුන් ලබා දුන් ඖෂධ දිගටම ලබා ගත යුතුද?

වෛද්‍ය උපදෙස් ලබා ගන්නා තෙක් ඔබට ඇති වෙනත් රෝගවලට නියම කර තිබෙන ඖෂධ නියමිත පරිදි ලබා ගැනීම වැදගත්ය.

කොරෝනාවෛරසය කෙතරම් දරුණු ද?
ලෝක සෞඛ්‍ය සංවිධානය මේ වන විට කොරෝනාවෛරසය ගෝලීය වසංගත රෝගයක් ලෙස නම් කර තිබේ.

ඉතාලිය සම්පූර්ණයෙන් වසා දැමීමත් සමග නිවෙස්වල සිටින පිරිස් සඳලුතලවල සිට ගී ගයන අයුරු දක්නට ලැබිණි
ලෝක සෞඛ්‍ය සංවිධානය සතු දත්ත අනුව සෑම ආසාදිතයින් පස් දෙනෙකුගෙන් සිව් දෙනෙකුට ම ඇති වන්නේ, සුළු රෝග ලක්ෂණය. ඒ අනුව:

  • 80% සුළු රෝග ලක්ෂණ පෙන්නුම් කරයි.
  • 14% බරපතළ රෝග ලක්ෂණ පෙන්නුම් කරයි.
  • 6% දරුණු රෝග ලක්ෂණ පෙන්නුම් කරයි.

වෛරසය ආසාදනය වීමෙන් ජීවිතක්ෂයට පත්වන්නන්ගේ ප්‍රතිශතය 1% හෝ 2%ක් වැනි අවම මට්ටමක පැවතිය ද එම සංඛ්‍යා අවිනිශ්චිතය.

දහස් ගණනක් රෝගීන් මේ වන විට ප්‍රතිකාර ලබන අතර තවත් බොහෝ දෙනෙක් ජීවිතක්ෂයට පත්වෙති. එහෙයින් මරණ අනුපාතය මීට වඩා ඉහළ අගයක් ගත හැකිය.

එමෙන් ම, සුළු රෝග ලක්ෂණ සහිත පුද්ගලයින් සංඛ්‍යාව ද නිශ්චිත නොවන හෙයින් මරණ අනුපාතය පහළ යාමට ද ඉඩ තිබේ.

උපුටා ගැනීම: බීබීසී සිංහල

Avatar

About බීබීසී සිංහල

View all posts by බීබීසී සිංහල →