නිරෝගී සමාජයක් බිහි කිරීමට, නිරෝගී ජීවිතයක්

ඉස්ලාම් යනු, පිරිසිදුකම හොඳින් අවධාරණය කරන ආගමකි. පිරිසිදුව සිටීමෙන් අප ජීවිතය නිරෝගි මත් ජීවිතයක් බවට පත් කර ගත හැක. නිරෝගීමත් ජීවිතයකට පිරිසිදුකම පමණක් නොව, යහපත් මානසිකත්වය, පෝෂණය යනාදි සෑම දෙයක්ම බලපායි. මෙයින් එකක් හෝ නොමැති නම්, අපගේ නිරෝගීමත් ජීවිතය අසම්පූර්ණවේ. නිරෝගි බව කාන්තාවකගේ ජීවිතයට නැතුවම බැරි අංගයකි. ඇය නිරෝගීව සිටියා නම්, මුළු සමාජය ම නිරෝගීව සිටීමට සමානය. කාන්තාවකට යුතුකම් බොහෝ ඇත. මේ නිසා ඇයගේ ජීවිතය නිරෝගීමත්ව තිබීම ඉතා වැදගත්ය.

පිරිසිදුකම, යහපත් මානසිකත්වය, පෝෂණය යනාදිය නිරෝගී ජීවිතයක් ගත කිරීමට අවශ්‍ය වේ. පිරිසිදුකම යනු, ඊමානයේ අඩකි. ඉස්ලාම් පිරිසිදුකම තරයේ අවධාරණය කරයි. පිරිසිදුකම යනු, ශරීරය පමණක් නොව වටපිටාව ද පිරිසිදුව තබා ගැනීමයි. ඉස්ලාම් මිනිසාගේ බාහිර මෙන්ම අභ්‍යන්තර පිරිසිදුකම පිළිබඳවද කතා කරයි. දිනපතා නෑම, ඇඟ සේදීම, කෑමට පෙර, පසු අත් සේදීම, වැසිකිලියට යෑමට පෙර හා ගිය පසු හැසිරිය යුතු ආකාරය, නියපොතු කැපීම යනාදිය ඉස්ලාම් අවධාරණය කර ඇති සෞඛ්‍යවේදීන්, වෛද්‍යවරුන් පවසන බාහිර පිරිසිදුකම ද මෙයයි. මේවා සාමාන්‍ය මිනිසෙකුගේ ජීවිතයේ නිරෝගීව සිටීමට කළ යුතු දේවල් වන අතර ඉස්ලාමීය කෝණයෙන් බලන කල මේවා ඉබාදත් (නැමදුම) බවට පත්වේ. අපිරිසිඳුකම නිරෝගී ජීවිතයකට බාධාවක් වන අතර විවිධ ලෙඩ රෝග බෝවිය හැක. කාන්තාවක් වශයෙන් ඇයගේ නිරෝගීභාවයට පිරිසිදුකම බලපානු ඇත.

කෙනෙකුගේ මානසිකත්වය ද ඔහුගේ නිරෝගී ජීවිතයට බලපානු ඇත. නිරෝගී ශරීරයක් ඇත්තෙකුට නිරෝගී මනසක් තිබිය යුතුය (Healthy mind is healthy body) යැයි, මනෝ විද්‍යාවෙන් ඉගැන්වේ. බොහෝ මානසික රෝගවලට හේතුව වන්නේ අධ්‍යාත්මය නිරෝගී නොමැති වීමයි. ඉස්ලාමයේ මෙම මානසික රෝගවලට විසඳුම් ඇත. කුර්ආන් පාරායනය කිරීම, අල්ලාහ් නැමදීම (සලාතය), අල්ලාහ්ව සිහිපත් කිරීම (දික්ර්) යනාදිය මගින් සිත සන්සුන් වීම, සැනසීම ද සව්ම් (උපවාසය) වැනි ඉබාදත් මගින් ඉවසීම වැනි ගුණාංග ද ඇතිවේ. අල්ලාහ් සමග බැඳීම් ඇත්තෙකුගේ මනස ප‍්‍රශ්න වලින් තොර නිරෝගීව පවතී. අල්ලාහ් සමග ඇති සම්බන්ධතාවය අඩු වුවහොත් ඔහුගේ මනස රෝගී බවට පත්වනවා නිසැකය.

තවද, අවසාන (කියාමත්) දිනයේ අල්ලාහ් කණ්ඩායම් හතකට තම අර්ෂයේ සෙවණ ලබාදෙයි. එයින් එක් කණ්ඩායමක් නම්, තම යොවුන් විය යහපත්ව ගත කළ අයයි. එම අර්ෂයේ සෙවණ ලබාගැනීමට අපගේ යොවුන් විය හොඳින් ගත කළ යුතුයි. එ් සඳහා අප නිරෝගී මත්ව සිටිය යුතුයි.

වේලාවට ආහාර ගැනීම, සුදුසු ආහාර ගැනීම, පෝෂ්‍යදායී ආහාර ගැනීම යනාදිය සිරුර නිරෝගීව පවත්වා ගැනීමට උපකාරි වෙයි. “අප ඔබලාට ලබාදුන් (ආහාරවලින්) හොඳ දෙය අනුභව කරනු” (සූරා අල් බකරාහ් : 57) යැයි අල්ලාහ් අල්- කුර්ආනයේ පවසයි. කාබෝහයිඩ්‍රේට්, ප්‍රෝටීන්, මේද, විටමින්, ඛණිජ, ජලය යනාදිය පෝෂ්‍ය පදාර්තයන් වේ. එම පෝෂ්‍ය පදාර්ථයන් අපගේ ආහාර වට්ටෝරුවේ අඩංගු වේ නම්, නිරෝගීමත්ව සිටිය හැක. මෙම පෝෂ්‍යපදාර්ථයන් අප එදිනෙදා ආහාරයට ගන්නා නොගන්නා සෑම එළවළු, පලතරු පලා වර්ගයකම අඩංගු වී ඇත. එම එළවළු, පලතුරුවල, ඇති පෝෂ්‍යදායී බව, එහි ඇති ගුණය පිළිබඳ එදිනෙදා පුවත්පත්, සඟරා වැඩසටහන් වලින් දැනගන්නෙමු. මෙම පෝෂ්‍යදායී ආහාර අප හට ලබා දී තිබෙන්නේ වෙන කිසිවෙක් නොව, සර්ව බලධාරී, අපරිමිත දයාවන්ත, අසීමිත කරුණාවන්ත අල්ලාහ්තආලාය. ඔහු අල්- කුර්ආනයේ මෙසේ පවසයි.

අහස්හි ඇති දෑද, මහපෙලොවෙහි ඇති දෑද, අල්ලාහ් නුඹලාට නතුකර දී ඇති බව නුඹලාට නොපෙනේද?
(අල්- කුර්ආන් 31: 20)

ඔහු එම ආහාර මිනිසා හට පහළ කර ඇත්තේ අනුභව කිරීමටය. නමුත් යොවුන් වියේ සිටින්නන් මෙම ආහාර ප‍්‍රතික්ෂේප කරති. ඔවුන් දැන් පුරුදු වී සිටින්නේ ක්‍ෂණික ආහාර ගැනීමටය. මෙසේ තිබියදී සර්ව බලධාරී අල්ලාහ් ලබා දී ඇති දායාදයන්වලින් එකක් වන ආහාර ප‍්‍රතික්ෂේප කිරීම හොඳ දෙයක්ද? එම ආහාරවල අපට අවශ්‍ය කැල්සියම්, පොස්පරස්, විටමින් වර්ග, ප්‍රෝටීන්, ඛණිජ වැනි පෝෂ්‍යපදාර්ථ අඩංගු වී ඇත. එපමණක් නොව, අප ලබා ගන්නා ආහාර ශරීරයට උරාගෙන සිරුර වර්ධනය වන්නේ යොවුන් වියෙහිය. එහි ප‍්‍රතිඵල දැකගත හැක්කේ මැදිවියට පත්වීමෙන් පසුවය. යොවුන් වියේ නිසි ලෙස පෝෂ්‍යදායී ආහාර නොගැනීමෙන් මැදිවිය වන විට කැල්සියම් අඩුවීමෙන් අස්ථි රෝග, විටමින් අඩුවීමෙන් ඇස් නොපෙනීමේ රෝග, විටිමන් අඩුවීමෙන් දරු උපත් නොමැති වීම, තවද විකෘති දරු උපත් යනාදි තත්වයන්ට මුහුණ දීමට සිදුවේ. තවද, කාන්තාවක් මවක් වශයෙන් පවුල ඉදිරියට ගෙන යෑමට, දරුවන් බලා ගැනීමට, නිවසේ වැඩ කටයුතු කිරීමට ද බිරිඳක් වශයෙන් තම සැමියාගේ වැඩකටයුතු ඉටු කිරීමට, දියණි යක් වශයෙන් තම දෙමව්පියන් බලාගැනීමට පමණක් නොව, (දාඉයා) දඃවා ප‍්‍රචාරකයෙකු වශයෙන් තම දඃවා මෙහෙය ප‍්‍රචාරය ඉටු කිරීමට නොහැකි වනු ඇත.

එනිසා, ඉස්ලාම් බලාපොරොත්තු වන යහපත් සමාජයක් බිහි කිරීමට කාන්තාවන් ද තම පූර්ණ සහයෝගය එ් සඳහා ලබා දිය යුතුය. මේ නිසා කාන්තාවන් තමන්ගේ නිරෝගී බව පිළිබඳ සැලකිලිමත් වී සාරවත් ජීවිතයක් ඇති කරගෙන හොඳ අනාගතයක් බිහි කිරීමට උත්සහ ගත යුතුය.

උපුටා ගැනීම: ප්‍රබෝධය මාසිකය