නීතියට පිටුපාන්නේ මන්ද?

muslim law

මිනිසුන් කාණ්ඩ හතරකට වර්ගීකරණය කළ හැකිය. එයින් උසස් කාණ්ඩය පිළිබඳ අල් කුර්ආනය මෙසේ කියයි.

1) කියනදේට සවන් දී එයින් ඉතා හොඳ දේ තෝරාගෙන එය පිළිපදින්නන් (අල් කුර්ආනය – 39 : 18)

මොවුහු යහමාර්ගය අත්පත් කරගත්තන්ය. – මොවුන්මය දැනුම්වත් අය බවත් එම වාක්‍යයේම සඳහන් වේ.

2) මොවුන් උසස් කාණ්ඩය නම් ඊලඟ ස්ථරවල සිටින්නන් කෙසේ වෙයිද? කියන දේට සවන් දී එය පිළිපදින්නන් බව කිව හැකිනේද, ඔව්!

මොවුන් තෝරාබේරා ගැනීමක් කරන්නේ නැත. එහෙත් කියනදේට සවන් දී එය අනුගමනය කරති.

3) තුන්වෙනි ස්ථරයේ සිටින අය කියනදේට සවන් දෙන නුමුත් සාවධානයෙන් එය අවබෝධ කරගන්නේ නැත. ඔවුන් යමක් අවබෝධ කරගන්නට නම් නැවත නැවතත් එය කීමට සිදුවෙනු ඇත.

4) සිවු වැනි ස්ථරයේ සිටින්නන් කියන දෙයකට සවන් දෙන්නේ නැත. තමන්ට හිතන දේ කරති.

කොරෝනා වෛරසයේ බලපෑම ලොවම වෙලාගෙන අවසන්ය. එම මහා ව්‍යසනයෙන් ආරක්ෂාවීමට කුමක් කළ යුතුද, කුමක් නොකල යුතුද යන්න පිළිබඳ ලෝක සෞඛ්‍ය සංවිධානය විස්තර කර ඇත. ශ්‍රී ලංකා රජය ජනතාව දැනුවත් කිරීමට උපරිමයෙන් කටයුතු කර ඇත. සෞඛ්‍ය අමාත්‍යාංශයෙන්, විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් සුදුසු උපදෙස් ලැබී ඇත. ආගමික ආයතනවලින් දැනුවත් කර ඇත. සමස්ථ ලංකා ජම්ඉයතුල් උලමා සංවිධානය විශේෂයෙන් මුස්ලිම් ප්‍රජාව දැනුවත් කිරීමට කටයුතු කර ඇත.

එහෙත් ඉහත කාණ්ඩ හතරෙන් හතරවෙනි ස්ථරයේ සිටිමින් තමන්ට හිතන දේ කරන පිරිසක් සිටීම කනගාටුදායක තත්වයකි. ඔවුන් සුළු පිරිසක් වූවද එයින් වන හානියනම් සුළු පටු නොවේ.

මෙය ලියමින් සිටින අවස්ථාව වන විට ඇඳිරිනීතිය කඩකල පුද්ගලයින් 6,500කට වැඩියෙන් අත් අඩංගුවට ගෙන ඇත. මොවුන්ගෙන් මුස්ලිම්වරුන් කී දෙනෙකුදැයි නොදන්නා නමුත් මුස්ලිම්වරුන්ද සිටින බව සැබෑය. නීතිය කඩකරමින් කටයුතු කළ මුස්ලිම්වරුන්ද කියන්නට විශේෂ පණිඩුවයක් ඇත.

නීතිය කඩ කල අයගෙනුත් විශාල වරදක් කර ඇත්තේ නිරෝධායනයට ලක්විය යුතු තිබියදීත් එය පැහැර හරිමින් ජනතාව අතර සැරිසරන්නන්ය. මොවුන් මාරාන්තික වෛරසයේ වාහකයින් වශයෙන් කටයුතු කර ඇත. මෙවැනි අය රජයේ උපදෙස් වලට පමණක් නොව නබිතුමාගේ ඉගැන්වීම්වලටද විරුද්ධව කටයුතු කල අයවේ. යම් ප්‍රදේශයක බෝවෙන රෝගයක් ඇත්නම් එම ප්‍රදේශයට ඇතුළුවීමෙන් හා එයින් පිටවීමෙන් වැලකී සිටින ලෙස නබිතුමා උපදෙස් දී ඇත. මොවුන් එම ප්‍රදේශයෙන් පිටවී යාම පමණක් නොව රෝගය වෙනත් අයට පතුරුවීමේ මහා වරදක් ද කර ඇත. මෙය එසේ මෙසේ වරදක් නොවේ. සමාව දිය නොයුතු වරදකි.

තවත් පිරිසක් නම් නීතියට පිටුපාමින් එක්රැස් වූවන්ය. ආගමේ නාමයෙන් පල්ලියක ඔවුන් රැස්වුනත් ඔවුන් කර ඇත්තේ විශාල වැරද්දකි. ලෝක ප්‍රජාවම එක්වී කරමින් සිටින යහපත් වැඩකට එනම් කොරෝනා මර්ධන ව්‍යාපාරයට එරෙහිව ඔවුන් කටයුතු කර ඇත. යහපතකදී අන්‍යෝන්‍ය වශයෙන් සහයෝගය දෙන්න. අයහපතට අතහිත නොදෙන්න, යනුවෙන් අල් කුර්ආනය අනතුරු අඟවයි. එසේනම් මස්ජිදයේ එක්රැස්වීමෙන් කර ඇත්තේ යහපතක් ද? කොහෙත්ම නැත.

නීතියට පිටුපෑ තවත් පිරිසක් තමයි ඇඳිරි නීතිය කඩකල අය. මොවුන් රජයේ නීතිය පමණක් නොවේ ඉස්ලාමීය නීතියටද විරුද්ධව කටයුතු කර ඇත. මහජන සුබසෙත සඳහාවූ නීතියට (මස්ලහා මුර්සලා) අවනතවීම අනිවාර්‍ය යුතුකමකි. එනම් “වාජිබ්” ක්‍රියාවක් බව ඉස්ලාමීය නීතියේ කියැවේ.

මේනයින් ඉහත දැක්වූ වැරදි කල අය අල්ලාහ්ට හා ඔවුන්ගේ වක්තෘවරයාට විරුද්ධව හා ඉස්ලාමීය නීතියට එරෙහිව කටයුතු කර ඇති නිසා ඒ සඳහා පව් සමාව අයැදීමේ (තව්බා ඉස්තිඃෆාර්) නිරතවිය යුතුය.

කියන දේට සවන් නොදී හිතන දේ කරන අය තමයි මෙවැනි වැරදි කර ඇත්තේ. මොවුන්ගේ සංඛ්‍යාව සුළු වූවත් ඔවුන්ගේ ක්‍රියාව නිසා සමාජයටත් රටටත් ඇතිවෙන හානිය අතිවිශාලයි.

අවනතවීම නැමති උදාර ගුණාංගය ඉස්ලාමය උගන්වා ඇත්තේ සවන්දීම හා සම්බන්ධ කරමිනි. සවන් නොදෙන්නන් සවන් දී අවබෝධ කර නොගන්නන්, පමණක් නොව කිසිවක් සවන්දීමට කැමත්තක් නොදක්වන්නන් මට්ටු කල හැක්කේ දැඩි නීතිය මගිනි.

මෙවැනි අයගෙන් සිදුවෙන හානිය පිළිබඳව ප්‍රජාව මීට වඩා ගැඹුරින් කල්පනා කලයුතුය. අවශ්‍ය දෙයකට සවන්දීම හා අවනතවීමේ ගුණය නැවත ස්ථාපිත කල යුතුය. යහපත් මුස්ලිම්වරයෙකු වශයෙන් හා යහපත් පුරවැසියෙකු විය හැක්කේ සවන්දීමෙන් හා අවනතවීමෙන්ය.

ජපානයේ ජනතාව සතුව ඇති ඉතා උසස් ගුණාංගයක් නම් රජයෙන් යම් අවවාදයක් පැනවූ විට ඔවුන් දේව ආඥාවට සමානව එය පිළිගෙන ක්‍රියා කිරීමයි. ලෝකයේ ඉතා උසස් ස්ථානයක් ඔවුන් ලබාගෙන ඇත්තේ ද ඒ නිසාය.

උපදෙස්වලට විරුද්ධවීම තර්ක විතර්ක ඉදිරිපත් කිරීම, සියළු දේ සැකයෙන් බැලීම තුලින් සවන් දීමේ ගුණාංගය මිරිඟුවක් බවට පත්වේ. මෙහි අර්ථය සවන් දුන් සියළු දේ පිළිපැදිය යුතුයි යන්න නොවේ. එයට වෙනස්ව බුද්ධියට එකඟව, මහජන සුභ සාධනයට පක්ෂව අවශ්‍ය දේට සවන්දී නිසිලෙස අනුගමනය කිරීමයි කල යුත්තේ. මෙම ගුණාංගය සමාජයේ සියළු කොටස් අතර ප්‍රචලිත කිරීමට අප උත්සාහ කල යුතුය.
2020 මාර්තු 30

උපුටා ගැනීම: උස්තාද් හජ්ජුල් අක්බර් පිටුවෙනි

Avatar

About උස්තාද් හජ්ජුල් අක්බර්

View all posts by උස්තාද් හජ්ජුල් අක්බර් →