භුමදානයද ආදාහනයද?

කොරෝනා ආසාදනයෙන් ජීවිතක්ෂයට පත්වූ මුස්ලිම් වරයෙකුගේ මෘත දේහය ආදාහනය කිරීමට අදාළ රජයේ නිළධාරීන් තීරණය කිරීම අරබයා පැන නැගී ඇති මතභේදය තවත් ජාතිවාදී ප්‍රශ්නයක් නොවීමට වගකිව යුත්තෝ කටයුතු කරමින් සිටිතී.

නීති කේෂ්ත්‍රයේ හා වෛද්‍ය කේෂ්ත්‍රයේ වෘතිකයින් සාකච්ඡා කර සුදුසු නිගමනයකට එළැඹිය හැකිය. එසේ නොමැතිව මෙම ගැටළුව දේශපාලනීයකරණයට ලක් කරලා හෝ ජාතිවාදයක් බවට හරවා හෝ තවත් ගැටළුවක් ඇති කර ගැනීමෙන් වලක්වාලීම මුස්ලිම් පාර්ශවයේ වගකිව යුත්තන්ගේ කැමත්ත බව පෙනේ.

මෙම තත්වයේදී ගැටළුව විසඳා ගැනීමේ වගකීම විද්වතුන්ට භාරදී මුස්ලිම් නොවන සහෝදරයින්ගේ ප්‍රශ්නයක් සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමට කැමත්තෙමි. මෘත දේහයක් භූමදානය කලත්, ආදාහනය කලත් එහි ඇති වෙනස කුමක් ද? මරණයට පත්වූවාට පසු ඒ ගැන තර්ක කිරිමේ ඇති ඵලය කුමක් ද? මුස්ලිම්වරුන් පමණක් හිතුවත්කාරව කටයුතු කරන්නේ ඇයි යනුවෙන් මුස්ලිම් නොවන සමහරු ප්‍රශ්න කරති. මෙම ප්‍රශ්නයට අදාළ පිළිතුර ඉස්ලාමීය නීතිවේදීන් ලබාදී ඇත. නීතිමය පිළිතුර සමග දාර්ශනික මතයද සම්බන්ධ කිරීම මෙම කෙටි ලිපියේ අරමුණයි.

මරණයේදී මිනිස් ආත්මය (ජීවය හෙවත් ප්‍රාණය) ශරීරයෙන් ඉවත්වී යයි. එය වලක්වාලීමේ හැකියාව කිසිම බලවේගයට නොමැත. එය නිර්මාතෘවන අල්ලාහ් වෙත ගෙනයනු ලැබේ. ආත්මය අත්පත් කරගැනීමෙන් පසු මෘත දේහය ඉතිරිවේ. එම මෘතදේහය ස්නානය කරවා කෆන් නමැති අවසාන ඇඳුම අන්දවා මරණයට පත්වූ ආත්මය වෙනුවෙන් ආගමික වතාවත් පවත්වා භූමදානය කිරීම මගින් යතොක්ත මෘත දේහය එහි අයිතිකරු අල්ලාහ් වෙත බාර කිරීම මුස්ලිම්වරුන්ගේ විශ්වාසය වේ. පසෙන් නිර්මාණය කරන ලද මිනිසාව පසටම බාරදීම මගින් එම අරමුණ ඉටුවේ යන දර්ශනය මත පිහිටා මුස්ලිම්වරු මෘත දේහ භූමදාන කරති.

එපමණක් නොව මිනිසා යනු ගෞරවනීය නිර්මාණයකි. ඔහු ජීවත්ව සිටියදීත් මරණයට පත්වීමෙන් පසුත් ගෞරවනීය ලෙස කටයුතු කල යුතුයි යන්න ඉස්ලාමයේ මතයවේ. යුධ පිටියකදී විකෘති වී තිබුනු හතුරු සේනාවකට අයත් පුද්ගලයෙකුගේ මෘත දේහයක් දුටු නබිතුමා මරණයට පත්වූවන්ගේ ශරීරය විකෘති කරන්න එපා යයි තරයේ අවවාද කිරීමට හේතුව මරණයට පත්වීමෙන් පසුද මිනිසාට ගෞරව කලයුතුයි යන්නයි.

තව දුරටත් කියන්නේනම් මෘත දේහයක් ස්නානය කරවා පිරිසිදු කිරීමේදී පවා රළු අන්දමෙන් එය අතපත ගෑම තහනම් කර ඇත. මෘත ශරිරය නරක්වීමට පෙර හැකි ඉක්මනින් එය භූමදානය කල යුතු බවද ඉස්ලාමය අවධාරණය කරයි. මේ සියල්ල මරණයෙන් පසුද මිනිසාට ලබා දෙන ගෞරවයයි.

යුදෙව්වකුගේ මෘත දේහයක් ඔසවාගෙන යනු ලැබූ අවස්ථාවකදී සහබාවරුන් සමග සිටි නබිතුමා වහාම නැගිට එම දේහයට ගෞරවය කල සිත්ධියක් මෘත දේහයකට කල තවත් ගෞරවයකට නිදසුනක් වශයෙන් කිවහැකිය.

සොහොන් බිම්වලට ගොස් එහි භූමදානය සිටිනවුන්ට සලාම් කියා (ඔබට අල්ලාහ්ගේ ශාන්තිය හා සාමය ඇතිවේවා) කියා ඔවුන්ගේ පරලොව ජීවිතය වෙනුවෙන් ප්‍රාර්ථනා කිරීමට උනන්දු කර එවැනි ගෞරව කිරීමකි.

දේහයක් ආදාහනය කිරීමේදී මෙවැනි කිසිවක් කිරීමට ඉඩ ලබෙන්නේ නැත. මෘත ශරීරය එහි සැබෑ අයිතිකරුවන්ට භාරදීමේ අවස්ථාවද අහිමි වී යයි. මෙවැනි සංවේදී හැඟීම් ඉස්ලාමීය ඉගැන්වීමකින් මුස්ලිම්වරුන් ලබා තිබීම මෘත දේහයක් භූමදානය කල යුතුයයි කීමට හේතුවයි.

මෙය නිසිලෙස අවබෝධ කරගත් තත්වයක සිටිමින් කොරෝනා වසංගතයෙන් රටේ ජනතාව බේරා ගැනීමේ රජය කටයුතු කරනවා ඇත යන්න මුස්ලිම්වරුන්ගේ අපේක්ෂාවයි. මෙහි ජාතිවාදයක් හෝ වෙනයම් පටු චින්තනයක් හෝ නොමැත.

2020 අප්‍රේල් 07

උපුටා ගැනීම: උස්තාද් රෂීද් හජ්ජුල් අක්බර් පිටුවෙන්

Avatar

About උස්තාද් රෂීද් හජ්ජුල් අක්බර්

View all posts by උස්තාද් රෂීද් හජ්ජුල් අක්බර් →