මතෙන් තොර ආදර්ශවත් මාතෘ භූමියක් කරා

අපගේ ලාංකික සමාජය ක්‍රමක්‍රමයෙන් තම රුදුරු ග්‍රහණයට ගනිමින් සිටින මත් රකුසා ගැන මෙවර ලියන්නට ජාතික ෂූරා සභාව අදහස් කරයි. තනි පුද්ගලයන්ගේ පටන් මුළු දේශයේම උන්නතියට බලවත් තර්ජනයක් බවට පත්ව ඇති මත්පැන්, දුම්බීම, මත් ද්‍රව්‍ය ආදි සියල්ල ඉස්ලාම් ධර්මය සපුරා තහනම් කරයි.

මුස්ලිම්වරුන් පමණක් නොව මෙරටේ වාසය කරන අන් ආගමික කොටස්වල බොහෝ අයද මෙම විනාශකාරී පුරුද්දේ අනිසි විපාක වටහා එයින් වැළකී සිටිනු දැකිය හැකිය. එමෙන්ම මත් ඇබ්බැහියට, එහි නිෂ්පාදනයට හා ප්‍රවාහනයට එරෙහිව ලොව පුරා රටවල විවිධ ක්‍රියා මාර්ග ගනු ලබන සැටිද අප දකින්නෙමු. මෙයට හේතුව වන්නේ මෙම ව්‍යසනකාරී පුරුද්ද නිසා ප්‍රතිවිපාක සහ හානි ඇති වන්නේ එයට ඇබ්බැහි වන අදාල පුද්ගලයාට පමණක් නොවන හෙයිනි. අවසානයෙහි මෙම තනි පුද්ගල ඇබ්බැහිය නිසා ඔහුගේ / ඇයගේ පුවලේ අයටද එම පුද්ගලයා අයත් සමාජයට මෙන්ම ඔහු අයත් වන රටටද දැවැන්ත හානියක් වන්නේය.

සිරුරට හානි ඇති කරන දේ ගැනීම සිය දිවි නසා ගැනීමට සමාන වන හෙයින් ඉස්ලාමය මෙවන් හානිකර ඇබ්බැහි හා පුරුදු තරයේ හෙළා දකියි. සියදිවි හානිය, එකවරම කරන ක්‍රියාවක් මෙන්ම ටිකින් ටික කරනු ලබන වැරදි ක්‍රියා නිසා ඇති වුවද එය ඉස්ලාමය එකසේ තහනම් කරයි. මෙනිසා මත්පැන්, මත් ද්‍රව්‍ය, දුම්බීම වැනි දේ ශරීර සුවයට හානි ඇති කර මරණය පවා ඇති කළ හැකි හෙයින් ඒ සියල්ල සියදිවි නැතිකර ගැනීමේ වැරදි ක්‍රියාවන් ලෙසින්ම ඉස්ලාමය දකියි.

මෙම ඇබ්බැහි නිසා ඇති වන හානි දිස්වන්නට පටන් ගන්නේ ඒවාට වහල් වී මඳ කලක් ගත වීමෙන් පසුවය. පළමුවෙන් මේවාට ඇබ්බැහි වන්නන්ගේ ශරීර සෞඛ්‍යය පිරිහෙන්නට පටන් ගන්නා අතර පසුව ඔහු හෝ ඇය කරමින් සිටි ව්‍යාපාරය, රැකියාව, වෘතිය, කර්මාන්තය ආදියෙහි එම තැනැත්තා දක්වමින් සිටි සහජ හැකියා හෙවත් දක‍ෂතාවයන්හි යම් යම් අඩු පාඩු ඇති වන්නට පටන් ගනු ඇත. මෙම තත්වය නිසා එම ජීවනෝපාය අඩාල වන්නට පටන් ගෙන ආදායම් මාර්ග හීන වන්නට පටන් ගනු ඇත. එයින් එම පුද්ගලයා, ඔහු අයත් වන පවුලේ ප්‍රධානආදායම සපයන්නා නම් එම පවුලට ආර්ථීක දුෂ්කරතා ඇති වන්නට පටන් ගනු ඇත. පසුව එම ඇබ්බැහිය දරුණු වන්නට පටන් ගත් විට එම පුද්ගලයා නිසා සමාජයටද අවසානයෙහි ඔහු හෝ ඇය වාසය කරන රටටද විවිධ අලාභ හානි, නින්දා සහ අපහාස ඇති වනු වැළැක්විය නොහැක. මෙලෙසින් තනි පුද්ගල වැරදි චර්යාවක් දේශයේම දියුණුවට බාධා ඇති කර දේශයේ යහනමටද කැළැල්ද ඇති කරනු ඇත.

ශුද්ධවූ කුර්ආනයේ විශ්වාසිකයන්ව හෛර උම්මත් (හොඳම ජනකොටස) යැයි අල්ලාහ් දෙවියන් පසසනු දැකි හැකි. ආලූ ඉම්රාන් පරිච්ඡෙදයේ 110 වැකිය ලෙසින් තිඛෙන එම වැකියෙහි මෙසේ සඳහන් වෙයි:
මිනිසුන්ට නිකුත් කරනු ලැබූ (සමූහයෙන්) විශිෂ්ඨතම සමූහය බවට ඔබ වූවෝය. (මන්ද යත්) ඔබ යහපත අණ කර නපුර වළක්වන්නේය.

විශිෂ්ඨතම සමූහයා යන පැසසුම මුස්ලිම්වරුන්ට හිමි වන්නේ හොඳ දෙය උනන්දු කර වැරදි ක්‍රියාවලින් මිනිසුන් වළක්වන මෙහෙය ඔවුන් කළොත් පමණි. එක් අතකින් මෙය දෙවියන් අපට වක්‍රව පවරන රාජාකාරියකි. මෙනිසා වත්මනේ දරුණු උවදුරක් බවට පත්ව ඇති මත් ඇබ්බැහියෙන් ජනයා මුදා ගැනීමට විශ්වාසිකයන් පෙරමුණ ගෙන ක්‍රියා කළ යුතුව ඇත.

මත් පැන් හා මත් ද්‍රව්‍ය ගැනීම පමණක් නොව ඒවා නිෂ්පාදනය කිරීම හා අලෙවි කිරීමද රට විනාශ මුඛයට යවන හෙයින් ඒ සියල්ල ඉස්ලාමය තහනම් කරයි. කෙනෙකු මිදි වගා කරන්නේ මධ්‍යසාරය නිපදවන්නට පමණක් නම් ඔහුගේ එම මිදි වගාවද ඉස්ලාමයේ තහනමට ලක් වෙයි.

වර්තමාන යුගයේ රටක් හෝ රටක ජනකොටසක් දුබල කර රට අස්ථාවර කරන්නට උපයෝගී කර ගන්නා අවියක් බවට මත් ද්‍රව්‍ය පත්ව ඇති බව පෙනී ගොස් ඇත. රටක ශ්‍රම බලකාය දුර්වල කරන්නට සතුරු බලවේග විසින් එම රට තුලට මත් ද්‍රව්‍ය ගෙනෙනු ලැබේ. විශේෂයෙන් මත්පැන්වලට වඩා හෙරොයින් වැනි මත් ද්‍රව්‍ය අතිශය හානිකර වන අතර මෑත කාලයක පටන් කිලෝ සිය ගණනින් හෙරොයින් ලංකාවට ගෙනෙනු ලබන සිද්ධීන් වැඩි වැඩියෙන් වාර්තා වෙමින් පවති. මෙවන් තත්වයක ලාංකික අප මෙවැනි කූමන්ත්‍රණ විෂයයෙහි ඉතා විමසිලිමත්ව සිටිය යුතුය. රටක වැසියන් මත් ඇබ්බැහිය කරන කොට ගෙන දුබල වූ විට හා සිහිමඳ වූ විට එම රට ආර්ථීක, සදාචාරාත්මක, අධ්‍යාත්මික, අධ්‍යාපනික, කාර්මික, ආගමික ශාරීරික වශයෙන් මෙන්ම ක්‍රීඩා කෞශල්‍යය, විදු නැණ වැනි දක‍ෂතාවලින්ද පිරිහෙනු වැළැක්විය නොහැක.

නරක ක්‍රියා වැළක්වීම වගකීමක් ලෙසින්ම පවරනු ලැබ ඇති මුස්ලිම්වරුන් මෙම ව්‍යශනයෙන් රට මුදා ගැනීමට හැකි සෑම අතින්ම දායක විය යුතුය. මේ සඳහා තරුණ කොටස්වල සහය විශේෂයෙන් ලබා ගත යුතුය. අපගේ ප්‍රදේශයේ මෙම ඇබ්බැහිය ඇත්තන් පමණක් නොව ඒවා හොරෙන් ගෙන්වන්නන් හා ඛෙදාහරින්නන් ගැන තොරතුරු දන්නේ නම් ඒවා අදාල නිලධාරීන්ට දැන්විය යුතුය. පොලිසිය, මත් ද්‍රව්‍ය නාශක ඒකකය වැනි අදාල රාජ්‍ය ආයතනවලට අප හැකි සෑම ලෙසින්ම සහයෝගය ලබා දිය යුතුය. මෙය රටවැසියන් ලෙසින් අප සැමගේම වගකීමකි.

මස්ජිද්වලටද මේ පිලිබඳ කළ හැකි දේ බොහෝ දේ ඇත. අපගේ ප්‍රදේශය මත් උවදුරෙන් බේරා ගැනීමේ පියවරක් ලෙසින්ද මෙය දියත් කළ හැකිය. මේ සඳහා වන වැඩපිළිවෙල ගැන මස්ජිදයේ පරිපාලනය කතිකා ඇති කළ යුතුය. මත් ඇබ්බැහියන් පුනරුත්තාපනය කිරීම ප්‍රශංසනීය ක්‍රියාවක් වුවද එය පමණක් මෙම උවදුර නැති කිරීමට ප්‍රමාණවත් නොවේ. එය රෝගයක් ඇති වූ පසු ප්‍රතිකාර කිරීමක් වැනි ක්‍රියාවකි. අප සැලසුම් කළ යුත්තේ එම රෝග බීජය වනසා දැමීමටය. අපගේ ප්‍රදේශයේ මත් ජාවාරම් කරන්නන් සිටින්නේ නම් ඔහු හෝ ඇන කුමන ආගමකට හෝ ජනකොටසකට අයත් කෙනෙකු වුවද එය ගැන නොසලකා අදාල බලධාරීන්ට ඔවුන් ගැන තොරතුරු ලබා දී සාමජ පිළිලයන් වන එවැන්නන්්ව නීතියේ ග්‍රහණයට හසු කර දීමට උපකාරී විය යුතුය.

මෙම මහඟ= කර්තව්‍යයට දාවා සංවිධානද උර දිය යුතුය. මේ සඳහා ක්‍රියා කරමින් සිටින විවිධ සංවිධාන සමග අප සැම අත්වැල් බැඳ ගත යුතුය. අප සියල්ලන්ම එක්ව මෙය කාර්්‍යක‍ෂමව කරන තරමට අපගේ රට දියුණුවේ හා අභිවෘධියේ මාර්ගයේ වඩාත් හොඳින් ගමන් කරනු ඇත. අපගේ වත්මන් පරපුරට යහපත් රටක් හිමි කර දීමට නම් මෙය අපගේ අනිවාර්්‍ය වගකීමක් ලෙසින් ගෙන අප ක්‍රියා කළ යුතුය. මෙවැනි ක්‍රියා ෆර්ලූ කිෆායා ගනයේ වගකීම් බවද අප සිහි තබා ගත යුතුය. මෙවන් උවදුරකින් රට හා සමාජය විනාශ වන විට අප අනවධානයෙන් සිටීම මහත් පාපයකි. අවසාන දිනයෙහි අපගේ එම අලස අක්‍රීය බව ගැන අපගෙන් අල්ලාහ් ප්‍රශ්න කරනු ඇත.

අපගේ මාතෟ භූමිය වන ශ්‍රී ලංකාව මතෙන් තොර ආදර්ශවත් දේශයක් බවට පත් කිරීමට අල්ලාහ් අපට ශක්තිය හා හැකියාව ලබා දෙත්වා.

-උපුටා ගැනීම: ජාතික ශූරා සභාවේ මාධ්‍ය ප්‍රකාශය

Avatar

About ජාතික ශූරා සභාව

View all posts by ජාතික ශූරා සභාව →