මිහිතලයේ ජීවත් වන්නන්ට කරුණාව දක්වන්න

මම මිනිසෙක් වෙමි. කියවන ඔබත් මිනිසෙකි. අපගේ පවුලේ සියලූ දෙනාම මිනිසුන්ය. එහි අපට සැකයක් නැත. සැකයක් මතුවන්නේද නැත. අන් අය කෙසේ කීවත් ඉස්ලාමයට අනුව නම් මේ මිනිසාගේ ආරම්භය ඇති වූයේ ආදම් සහ හේවා (හෞවා) යන මුල් මිනිසුන්ගෙන්ය. ඔවුනුත් අප වගේමය. ඔවුන්ටත් තිබුණේ එකම එක මොළයකි. ඇස් හා ශරීරයේ අනික් අවයව සියල්ලම මිනිසුන් හා සමාන වයි පිහිටියේ මම අතීතය ගැන මෙම ලිපියෙන් කතා කරන්න උත්සහ දරන්නේ නැත. එහෙත් අතීතයේ සිදුවීම් අපට බොහෝ ආදර්ශයක් ලබා දෙන නිසා අතීතයෙන් කොටස් ගෙන හැර දක්වීමට උත්සහ දරමි.

අද සමාජයේ මිනිසුන් කොටස් වශයෙන් බෙදී සිටිති. එක්කෝ ජාති වශයෙන්,නැතහොත් සමාජීය වශයෙන් බෙදී සිටී. මිනිසා මෙසේ බෙදී සිටීමට යම් කිසි හේතුවක් තිබුණත් අපහැදිලිතාවය නිසා බෙදී සිටියහොත් එය විශාල වැරද්දකි. මා මෙහි අපහැදිලිතාවය ලෙස අදහස් කළේ මිනිසෙක් තවත් මිනිසෙකුට පැහැදිලිව අවබෝධ කර නොගැනීමය. ලෝකවාසී සියලූ මනුෂ්‍යයන්ම මිනිස් ස්වභාවය ගැන පැහැදීමක් අතිකර ගත යුතුය. එනම් මිනිසා දුර්වලයි, ඔහු වැරදි කිරීමට පුළුවන ඔහුටත් ආශාවන් තිබේ,ඔහුටත් මට වගේම හැඟීම් තිබේ ඒ වගේම මනසක්ද තිබේ. මෙම කරුණු සියල්ල සාමාන්‍ය මිනිසෙකු තවත් මිනිසෙකු ගැන දැන ගෙන සිටිය යුතු කරුණුය. මෙසේ නොසිතා මිනිසුන්ගෙන් කොටසක් තමයි වැරදි කරන්නේ අනික් අය වැරුදි කරන්නේ නැහැ,මගේ පක්ෂයේ නායකයා වැරුදි කරන්නේ නැහැ, මගේ ආගමේ පූජකවරයා වැරදි කරන්නේ නැහැ, යන්නෙන් සිතාගත හොත් ඔබ වැරදි කරන්නේ නැහැ කියා සිතූ ඔබගේ නායකයා හෝ ඔබගේ ආගමේ පූජකවරයා වැරදි කළ විට ඔබට දරාගත නොහැකි වේවි. එහෙත් නිවැරදි ලෙස ඉස්ලාම් ආගම වටහාගත් කෙනෙකු සෑම මිනිසෙකුව ම බලන්නේ එක හා සමානවය. එකම මිනිස් සමාජයේ සෑම කෙනෙකුම වැරදි කරන සුළුය. මේ සම්බන්ධව අල්-කුර්ආනයේ ද සඳහන් වී ඇත.

නබි (සල්) තුමා වරක් මෙසේ පැවසුවේය.
”ආදම්ගේ දරුවන් සියල්ල වැරදි කරන සුළුය.” එම නිසා ඉස්ලාම් ආගමට අනුකූලව වැරදි කරන කෙනෙකුව පහත් කොට සලකන්නේ නැත. ඔහු වැරදි කළහොත් ”බලන්නකෝ මේ මනුස්සයා මෙහෙම වැඩක් කළානේ?,යන්නෙන් සිතන්නේද නැත.”

එසේනම් වැරදි කළ තැනත්තාට කුමක් කළ යුතුද? දඩුවම් කළ යුතුද? නැත්නම් සමාව දිය යුතුද? ඉස්ලාමයට අනුව නම් සමාව හා දඩුවම යන දෙකටම ඉඩ ඇත. එහෙත් නබි(සල්) තුමාගේ ජීවිතයේ දඩුවම් දීමට වඩා සමාව දීමට ප‍්‍රමුඛස්ථානයක් ලබා දී තිබුණි. එහෙත් ඇතැමුන් ඉස්ලාමය ගැන කතා කරන්නේ, ”දරුණු ආගමක්” මෙම ආගමේ දැඩි නීතිරීති තිබෙනවා, යන්නෙනි. එහෙත් නබි(සල්) තුමාගේ චාරිතාපධානය නිසියාකාරව අවබෝධ කරගතහොත් කිසි විටකත් ඉස්ලාම් ආගම ඉතා දරුණුයි යන්නෙන් කෙනෙකු පවසන්නේ නැත. ඒ සඳහා උදාහරණයන්ගෙන් සමහරක් මෙසේය,

අල්ලාහු තආලාගේ අවසාන දූතයා වන නබි මුහම්මද් (සල්) තුමා ධර්ම ප‍්‍රචාරය සඳහා ගමනක යෙදී සිටින විට එතුමාගේ ඇඟ මතට කාන්තාවක් කුණු රොඩු විසි කළාය. තවත් විටෙක නබි (සල්) තුමා සහ ඔහු මිත‍්‍රයන් සලාතයේ යෙදී සිටින අවස්ථාවක අබූජහල් නම් පුද්ගලයා ඔටුවන්ගේ අසූචි එතුමාගේ ඇඟ මතට විසි කළේය. මේ අවස්ථා දෙකෙහි දීම මුහම්මද් (සල්) තුමා ඔවුන්ට විරුද්ධව යම් ක‍්‍රියා මාර්ගයක් ගැනීමට අවස්ථාවක් තිබුණ ද එතුමා ඔවුන්ට සමාව දුන්නේය. කුණු රොඩු විසිකළ කාන්තාව රෝගී තත්ත්වයෙන් සිටියදී නබි(සල්) තුමා ඇයව බැලීමට නිවසට ගියේය.

නමින් ”හින්දා” යැයි හඳුන්වන කාන්තාවක් මුහම්මද් තුමාගේ මහප්පා වන හම්සා (රලි) තුමාගේ බඩවැල කපා එතුමාගේ අක්මාව පිටතට ගෙන සපා කෑවාය. එම කාන්තාව මක්කාව ජයග‍්‍රහණයෙන් පසු අන්ත අසරණ වී නබි (සල්) තුමා ඉදිරියට පැමිණියා ය. මක්කවේ ජයග‍්‍රහණයෙන් පසු, මනුෂ්‍යත්වයක් නැතිව තම බාප්පාව මරා දැමූ එම කාන්තාවට නබි (සල්) තුමා කරුණාව දක්වා සමාව දුන්නේය. ලැජ්ජාවට පත්වූ එම කාන්තාව එවේලෙහිම ඉස්ලාමය වැළඳ ගත්තාය. ඉස්ලාමයට කිසිවිටෙකත් කිසිවෙකුව නබිතුමා බලෙන් ඈඳාගත්තේ නැත. එතුමාගේ කරුණාව හා මෛත‍්‍රිය වටහාගත් බොහෝ අය ඉස්ලාමය වැළඳ ගත්හ.

තවත් උදාහරණයක් මෙසේය. මුස්ලිම්වරුන්ගේ ඉතිහාසයේ සටන් රාශියක් ඇතිවී ඇත. එය කවදාවත් ඉස්ලාමයේ බලය පතුරුවාලීමට නොවේ. ශ‍්‍රි ලංකාවේ ස්වයිරීභාවයට කැළැල්ලක් යම්කිසි පිරිසක් විසින් ඇතිකරනවා සේම, එවකට ඉස්ලාමයේ ස්වයිරීභාවයට යම් යම් පිරිස් කැළැල්ලක් ඇති කිරීමට උත්සහ දැරූහ. ඔවුන්ව මැඩලීම පිණිස නබි(සල්) තුමාට යුද්ධය ප‍්‍රකාශ කිරීමට සිදුවිය. ”බද්ර්” යනු එවන් සටනකි. අල්ලාහු තආලාගේ ආශිර්වාදය මත එම සටනේ දී මුස්ලිම්වරුන් ජයගත්හ. සටනේන් පරාජය ලැබූ කුරෙයිෂ්වරුන් මුස්ලිම්වරුන්ගේ අත් අඩංගුවට පත්වූහ. නබි (සල්) තුමා ඉදිරියේ අත් අඩංගුවට පත් සියල්ලන්ම සිටගෙන සිටියහ. කලීෆා උමර් (රලි) තුමා “නබිතුමණි, මොවුන්ව මරා දමන්න, යැයි කීවේය. නබි තුමාණන් හට ඕනෑම තීරණයක් ලබාදීමට හැකියාව තිබුණද නබි(සල්)තුමා ඔවුනට සමාව දුන්නේය. එතැනින් නොනැවතුණු එතුමාණෝ ඔවුන්ගේ දැනුමද අන් අයට ලබා දෙන ලෙස අණ කළේය.

ඔබටත් යම්කිසි කෙනෙකුගෙන් අසාධාරණයක් සිදුවුවහොත් ඔවුන්ට කරුණාව දක්වන්න, සමාව දෙන්න, ඒ තරමට ඔබගේ සිත හදා ගන්න, ඉතිහාසයෙන් තවත් සිද්ධියක් ගෙනහැර දැක්වීමට කැමැත්තෙමි.

ආයිෂා (රලි) තුමිය නබි(සල්) තුමාගේ බිරිඳය. මුස්ලිම්වරුන්ගේ මවය. ඇය ගැන එවකට සිටි පුද්ගලයෙක් කටකතාවක් පැතුරුවේය, එනම් අයිෂා (රලි) තුමිය වෙනත් පුද්ගලයකු සමඟ සම්බන්ධකම් පවත්වාගෙන යන බවය. මෙය දැනගත් ආයිෂා (රලි) තුමියගේ ඥාතියෙක් සැවොම ඉදිරිපිට එය එළිදැක්වූයේ ය. මෙය කණවැකුණු එතුමියගේ පියාවන අබූ බක්ර් (රලි) තුමා කෝපයට පත්විය. කාලයක සිට එම ඥාති සොහොයුරාට අබූබක්ර් (රලි) තුමා උපකාර කරමින් සිටියේය. මෙම කටකතාව ප‍්‍රසිද්ධියට පත්කළ නිසා අබූ බක්ර්(රලි) තුමා එම ඥාති සොහොයුරාට උපකාර කිරීම නැවැත්වීමට තීරණය ගත්තේය. එවේලේම අල්ලාහු තආලා අල්-කුර්ආන් වාක්‍යයක් පහළ (සූරා අන්-නූර් 11-15) කර එම ඥාති සොහොයුරාට නැවතත් උපකාර කරන ලෙස අණ කළේය. අබූබක්කර් (රලි) තුමාට තමාගේ තීරණය වෙනස් කිරීමට සිදු විය.

මෙම සිදුවීමෙන් පෙන්වන්නේ නබි(සල්)තුමාගේ බිරිඳට ද්‍රෝහිකම් කළත් ඔහුව ද සමාජයෙන් කොන් නොකළ යුතු බවයි. ඔහුවත් ළං කරමින් ඔහුව ද සමාජය තුළින් යහපත් මිනිසෙකු කළ යුතු බවයි. ඉහත ගෙනහැර දැක්වූ ඉතිහාස සිද්ධීන් සියල්ල කෙටියෙන් පැහදිලි කර තිබේ. එය සවිස්තරාත්මකව කියවා බැලූවහොත් තවත් ආදර්ශයන් බොහෝමයක් ලබා ගත හැකිය.

ඉස්ලාමයට අනුව සෑම යහපත් ක‍්‍රියාවක්ම ඉටු කළ යුත්තේ අල්ලා වෙනුවෙන්මය. එවිටයි අපට පිං ලබාගත හැකි වන්නේ. අල්ලාහ්ගේ කරුණාව ළඟා කර ගත හැකි වන්නේ. එසේ සිතා ක‍්‍රියා කරන්නේ නම් අපට සමාව දීම එතරම් දෙයක් නොවේ. අප ජීවත් විය යුත්තේ අනුන්ව තෘප්තිමත් කිරීමට වඩා අල්ලාහ්ව තෘප්තිමත් කිරීමටය. නබි (සල්) තුමාද බොහෝ දෙනෙක්ට සමාව දුන්නේ අල්ලාහ්ගේ තෘප්තිය සඳහාත් සමාජයේ සුභ සිද්ධිය සඳහාත් ය.

එහෙනම් ඔබගේ පක්ෂයේ නායකයාත් වැරදි කරන්නට පුළුවන්, ඔබගේ ආගමික නායකයන් වැරදි කරන්නට පුළුවන්. ඇයි ඔබත් වැරදි කරනවා, මමත් වැරදි කරනවා, වැරදි කළ කෙනෙකුට සමාව දෙමු. ඔහුට ඔහුගේ වැරුද්ද වටහා දෙමු. අල්ලාහු තආලාගෙන් එම වැරද්ද වෙනුවෙන් සමාව අයදින්න කියමු. ඇණකොටා ගන්නේ නැතුව ජීවත් විය යුතු නම් අප අල්ලාහු තආලා වෙනුවෙන් සමාව දී එමඟින් තෘප්තියක් ලබා ගත යුතුය.

‘‘මිහිතලයේ සිටින්නන්ට ඔබ කරුණාව දක්වන්න අහස්තලයේ සිටින්නා ඔබහට කාරුණික වේවි’’

කර්තෘ : කුර්ෂිද් අහමද්
උපුටා ගැනීම ප‍්‍රබෝධය මාසිකය

Avatar

About කුර්ෂිද් අහමද්, ප‍්‍රබෝධය මාසිකය

View all posts by කුර්ෂිද් අහමද්, ප‍්‍රබෝධය මාසිකය →