විවිධත්වයේ එකමුතුව (Unity of Diversity)

මනුෂ්‍ය සංහතිය නිර්මාණය වනුයේ විවධත්වය සහ ඒකීයභාවය පදනම් කොටගෙනය. භාෂාව, සමේ වර්ණය, සංස්ෘකතික චර්යාවන්, ඇදහීම් රටාවන් එක් එක් ජන සමාජය අනුව රටවල් අනුව වෛවර්ණ වේ. එය සුන්දරත්වයකින් යුක්ත වේ. ජාතියක් සතු අනන්‍යතාවයද එය වේ. එය වත්කමකි. පළිඟකි. ජාතියක් සතු මෙම වත්කම අලංකාරවත් ලෙසත් විචිත්‍රවත් ලෙස ජාතින් හමුවේ එලිදැක්විමෙන් ‘විවිධත්වයේ විචිත්‍රවත්භාවය’ උද්දීපනය වේ. යුනෙස්කෝ සංවිධානය විසින් .’One world many voices’ . ලෙස විවිධත්වයේ එකමුතුව නිර්වචනය කොට ඇත.

අප වෙසෙන්නේ නානා ප්‍රකාර ජාතින් ජිවත්වන ලෝකයකය. මිනිසුන් අතර ඇති සමානකම් හඳුනාගැනිම මනුෂ්‍යයෙකු වශයෙන් ඉතා වටියි. වෙසෙසින්ම බහු සමාජ සංස්කෘතින් තුළ මිනිසුන් වන අපට ජීවත්විමට එය වඩා පහසු කරයි. ‘සහජීවනය’ යනු අද අප සමාජය තුළ බහුලව එහා මෙහා විසිවෙන වචනයක් මෙන්ම අද අපට අවශ්‍යම දෙයක් බවට පත්ව ඇත. ඇත්තෙන්ම අප මෙම වචනය නිතර දෙවේලේ උපයෝගි කලාට එහි නියම තේරුම හෝ එයට අනුකූලව අප ජීවත්වෙමින් සිටින්නෙමුද?.

අප මුස්ලිම් සමාජය ගත්කළ සහජීවනයේ
ප්‍රායෝගිකතාවය උදෙසා විශාල වගකීමක් ඇත. අප තවතවත් වෙනත් ජාතින් අතරට හා යායුතුය. එය වඩාත් දැනුමෙන් සන්නද්ධව හා වගකීමෙන් කළයුතු ගමනක් වේ. ඉස්ලාම් දහම පිළිබඳ සමාජයේ පවතින වැරදි අර්ථකතන, වැටහිම්, මිථ්‍යා විශ්වාස දුරුකරලිමට හැකිවන්නේ එවිටය. අන්තවාදය අරක්ගත් ජනයා විසින් ඉස්ලාමය පිළිබඳ වැරදි චිත්‍රයක් මවාපෑමෙන් අන් සමාජවල ජනයාගේ සැකය මුසු බැල්ම අපවෙතට එල්ලවි ඇත. ඉස්ලාම් යන වචනයම ‘සාමය’ නිරුපණය කළද අද ලොව සිටින සියල්ල මුසල්මානුවන් දෙස ලෝකයා බලන්නේ මස්වැද්දන් ලෙසය. බියකරු තස්ත්‍රයන් ලෙසය. මෙයට බටහිරවාදින්ගේ ඊනියා බලපෑමේ සෘජු මැදිහත්විමද ඇතිවග කිව යුතුමය.

ඕනෑම සමාජයක මනස අයාලේ යන, මනුස්සකම නොදත් වියරු පුද්ගලයින් සිටිය හැක. එය මුස්ලිම් සමාජය, සිංහල හා දමිල සමාජය කියා වෙනසක් නැත. එහිදි වැදගත් වනුයේ අප අවධානය යොමුකළ යුත්තේ ඔහුගේ හෝ ඇයගේ බාල මානසිකත්වය මිස අනුගමනය කරන දහම පිළිබඳ වැරදි වැටහිමක් නොවේ. කිසිදු ආගමක් ‘මිලේජත්වයට’ ආවඩන්නේ නැත. එය පැහැදිලිවම ශුද්ධවූ කුරානයේ සඳහන්ය. එක අතකට හරිහැටි ආගමක් අනුගමනය කරයි නම් කිසිම මනුෂ්‍යයෙකු ‘මනුෂත්වයට’ නිගරු කරන්නේද නැත. එංගලන්තයේ හිටපු ලෝප්‍රකට අගමැතිවරයෙකු වූ වින්ස්ටන් චර්චල් අප දන්නා පරිදි යහපත් නායකයෙකි. ප්‍රජාතන්ත්‍රවාදයට ආවඩන්නෙකි. ඔහු වරෙක පලස්තීනුවන් පිළිබඳ මෙසේ සඳහන් කළේය. ‘පලස්තීනුවන් වු කලි මිලෙඡ්ච ආගමක් අදහන මිලේජ්චයන්ය යන්නයි. මෙය කොතරම් බරපතල චෝදනාවක් වන්නේද?. ඔහු දේශපාලනය අතින් ජනයාගේ සිත්සතන් දිනාගත්තද සහජිවනය පිළිබඳ හෝ අන් ආගමක් පිළිබඳ දැනුම අතින් සිටියේ සෘණාත්මක තත්වයක බැව් මොනවට පසක් වේ. ජාතියක් තවත් ජාතියකගේ අනන්‍යතාවය හරියාකාරව තේරුම්ගත හැකි නම් එහි අපූරත්වය හොඳින් විඳිය හැකි වන්නේය.

එකිනෙකා පිළිබඳ සැකයෙන් හා අනියත බියකින් කල්ගෙවන සමාජයක සංහිඳියාව හෝ අනුකලනය සෙවිය නොහැක. මේ රටේ මහජාතිය ‘සිංහල ජාතියයි”. අප ඔවුන්ට ඉතා ගෞරව කරන්නෙමු. ඔවුන් තරම් ආගන්තුක සත්කාරයට ලැදි ජාතියක් තවත් නොමැති තරම්ය. ඒ පිළිබඳ විදේශිකයන් තුළ පවා ඇත්තේ නිකළැල් හැඟීමකි. අප රටේ ජනයාගේ හිත් තුළ ඇති තෙතමනයේ තරම පසුගියදා සිදුවු ගංවතුර උපද්‍රවයෙන් හොඳින් අත්වින්දෙමු. මෙයයි අප රටට අවශ්‍යය. මේ ශක්තිමත් පවුර රැස් වළල්ලක් මෙන් ආරක්‍ෂා කිරිම වඩාත් කලෝචිතවේ. මෙහි ප්‍රධානතම වගකිමක් “ජන මාධ්‍යය” සතුවේ. මාධ්‍යය රටක ජනයාගේ සිත්සතන් තුළ සිතුවිලි විපර්යාසයක් ඇතිකරලිමට ප්‍රධාන හේතුවක් වේ. සමාජයේ යම්කිසි වැරැද්දක් සිදුවු කළ කිසිම විටෙක ඔහුගේ හෝ ඇයගේ ආගම උළුප්පවා දැක්විම මාධ්‍යය විසින් නොකළ යුතු දෙයකි. නුමුත් අවාසනාවකට අද සමාජ මාධ්‍යයන් බොහෝමයක් ‘ලාභය’ හා ‘දේශපාලනය’ න්‍යාය පත්‍රය කරගෙන සිටින හෙයින් අර කියන්නාවු සහජිවනයට සාර්ථක අර්ථකතනයක් නොසපයා මිනිසුන් උසිගන්වන මාධ්‍යය බවට පත්ව තිබිම කණගාටුවට කරුණක් ‘මාධ්‍යය’ ජනයාගේ සංතානය ත්‍රාසය ඇතිකරන මෙවලමක් නොවිය යුතුයි. පොහොර නොදැමිය යුතුයි. නැති ආවේගයක් ඇති වන්නේ එවිටය. පටු අදහස් ඇත්තවුන් තුළ ජාති මමත්වය ඇතිකරවා ඔවුන් වීරයන් බවට උළුප්පවා දැක්විම මාධ්‍යය විසින් නොකළ යුතු දෙයකි. එය මහත් ව්‍යවසනයට මුල පිරිමකි.

වෙනත් ජාතින්, සංස්කෘතීන් පිළිබඳ පැහැදිළි දැක්මක් සියලුදෙනාටම තිබිය යුතුයි. එයට තහනමක් කොහෙත්ම නැත. අනුකලනයට සාර්ථකම මගද එයයි. බුදුදහමේ වසල සුත්‍රයේද සංහිඳියාව හා මනුසත්බව පිළිබඳ මනා පැහැදිළි කිරීමක් කර ඇත. මාධ්‍යය තුළ හරවත් දේශන, සංවාද තවතවත් බිහිවිය යුතුයි. පාසල් අධ්‍යාපනය තුළද බහු ආගමික විෂ්‍යයන් පිළිබඳ දැනුම සිසුන්ට ලබාදිය යුතුය. විශේෂයෙන්ම ඉස්ලාම් දහම පිළිබඳ අන් සමාජවලට ඇති දැනුම ඉතා අල්පය. දැනුමක් තිබුණද එය විකෘති වී ගිය වැරදි වැටහිමකි. එමනිසා මුලින්ම එය පිළිබඳ මනා අවබෝධ්‍යක් ලබාදිම වඩාත් යෝග්‍ය වේ. බොහෝ දෙනා පවසන පරිදි ඉස්ලාමය සුළුදෙයකට වුවද අවි ඔසවන ත්‍රස්ත්‍රවාදයට ආවඩන ආගමක් නොවේ. මෙයයි ඔවුන් ඉස්ලාමය පිළිබඳ දක්වන ආකල්පය. නුමුත් කුරානය විමර්ශනය කිරිමෙන් අනතුරුව ඉස්ලාමය තරම් සාමයට ආවඩන ආගමක් තවත් තිබේ දැයි ප්‍රශ්න කරනු ඇත. ඉස්ලාමිය න්‍යායන් ප්‍රයෝගිකව ක්‍රියාත්මක කර අන් අයට නිදර්ශනයක් සැපයිම අපට අද අනිවාර්ය වේ.

ලොව කොතැනක අන්තවාදි අදහස් බිහිවේද එය බිහිවු තැනම ලොප් කළ යුතුයි. නීතිය තදින්ම ක්‍රියාත්ක කළ යුතුයි. මෙවන් පහපත් මානසික රෝගීන් නිසා නැති අවමානයත් එම දහමට එකතුවේ. විකෘති මානසිකත්වයෙන් යුතු පිරිස් ඉස්ලාමයේ ලේබලය අලවමින් ආගම විකුණන් කන තත්වයක්ද ඇත. එනිසා මෙවන් පිරිස් දහනය විමට තවත් ඉන්ධන නොසපයා නීතිය වඩාත් තදින්ම ක්‍රියාත්මක කිරිම වඩා යෙහෙකි. අන්තවාදින් වීමට ‘පීඩනය’ සපයන පිරිස්ද අන්තවාදින් වන පිරිස යන ද්විත්වයටම නීතිය තදින්ම ක්‍රියාත්මක කිරීම වඩාත් අනිවාර්ය වේ. අද ලෝකය තුළ අධිපත්‍ය ඇත්තන්ද, ඉස්ලාමය ගෝලිය ත්‍රස්තවාදයේ මුලබීජය යැයි හංවඩු ගසති. මෑතකදී ප්‍රංශයේ සිදුවු ප්‍රහාරයෙන් පැයක් ඉක්මවන්නට මත්තෙන් ප්‍රංශ අගමැති ඉස්ලාමිය ත්‍රස්තවාදය මුලිනුපුටා දැමිය යුතු බව ප්‍රකාශ කළේය. පලස්තීනය, සිරියාව වැනි රටවල්වල සිදුවන මහා මිනිස් සංහාරයන් පිළිබඳ කථාවක්වත් නැත. අඩුම තරමේ ශෝකය ප්‍රකාශ කිරිමක්වත් නැත. සමහරමවිට ඉස්ලාමිය රටවල්වල මිනිස් ජීවිත බටහිර ජීවිතවලට වඩා වටිනාකමින් අඩුයැයි ඔවුන්ගේ කුරුළු මොලය සිතනවා විය හැකිය.

මනුසත්භාවයට වඩා ඉහළින් තවත් ආගමක් නොමැත. මනුෂ්‍යත්වයට ගරුනොකරන අමනුෂ්‍යයින්ද මනුෂ්‍යයින් ගනයට වැටෙන්නේ නැත. නීතිමය වශයෙන්, සදාචාරමය වශයෙන්, දේශපාලනමය වශයෙන් සමාජ අනුකූලනය විය යුතුය. මනුෂ්‍යයෙකුට තමන් ඉපදුන රට තරම් පරිසරය තරම් නිදහස් තෝතැන්නක් ලොව තවත් නැත. මේ අපේ මාතෘ භුමියයි. අප නිදහසේ හුස්ම හෙලන රටයි. මේ අප අපගේ අවසන් හුස්ම වාතයට මුසුකරන රටයි. මරණින් පසු අප ශරීරය මේ පොලොවට පස්බවට පත්වන රටයි. එනයින් අප හදවතින්ම ලාංකීය වෙමු. ලාංකිකයන් වශයෙන් අනන්‍යතාවය ගොඩනංවා විවිධත්වයේ එකමුතුවේ විචිත්‍රවත්භාවය වඩා ප්‍රායෝගික ලෙස විඳින්නට ලකලැහැස්ති වෙමු.

අවසානය වශයෙන් කිවයුතු දෙයක් ඇත. අප මිනිසුන් වශයෙන් මෙලොවට බිහිවූ අතර උපතින් පසුව අප විවිධ ජාතීන්, ආගම්වලට භේද වෙන් කෙරුණි. එහෙත්, මියගියදාට නැවතත් ස්වභාවදහම අප භාරගන්නේ පොහොරක් හැටියට මිස, තමත් ගොඩනගාගත් ආගමික ජාතිකත්වයට අනුව වර්ග කිරීමකින් නොවන වග සිහිතබා ගැන අප මේ ජීවන ගමන යායුතුයි.
ප්‍රබෝධය….

Avatar

About ප්‍රබෝධ මාසිකය

View all posts by ප්‍රබෝධ මාසිකය →