විශ්වය බිහිවූයේ අහම්භයෙන් ද?

පහේ කාසි දහයක් අතට ගන්න, ඒවා එකින් එක උඩ දමන්න කාසි දෙකතුනක උඩපැත්ත පහේ අගය වැටෙන්න පුළුවන් ඉතිරිය රාජ්‍ය ලාංඡනය වැටෙන්න පුළුවන් නැතහොත් තවත් ආකාරයකට අඩු වැඩි වශයෙන් පහේ අගය සහ ලාංජනය වැටෙන්න පුළුවන් මේවා සාමාන්‍ය ව්‍යවහාරයේදී අහඹු සිදුවීම් ලෙස හැඳින්වේ එහෙත් පහේ කාසි දහසක් ගෙන එකිනෙක උඩ දමා බැලීමේදී ඒ දහසම රාජ්‍ය ලාංඡනයම උඩ පැත්තට වැටෙනවායයි සිතමු එයත් අහඹුවක් ද, හරි,නැවතත් එම දහස උඩ දැමීමේදී පෙර ආකාරයටම රාජ්‍ය ලාංඡනය වැටේ නම් එයත් අහඹු සිදුවීමක් විය හැකිද? එවිට ඔබ කාසි දහසම ගෙන එකිනෙක පරීක්ෂා කරනු ඇත. දෙපැත්තම තියෙන්නේ ලාංඡනයමද කියා, මෙයින් ඔබට වැටහෙන යම් සත්‍යයක් තිබේද? අහඹු සිදුවීමක් නිතර නිතර එකම ආකාරයට සිදුවන්නේ නැත යන්න නේද? එම සත්‍යය අප ජීවත්වන මහපොළොව දෙස, සෞරග්‍රහ මණ්ඩලය දෙස සිත යොමු කරමු විශ්වයේ එකක් නොව දහසක් නොව කෝටි ගණන් පුදුම හිතන දේවල් නිතර සිදුවෙමින් පවතී. ඒවා නොකඩවා ඒ ආකරයටම සිදුවේ.විශ්වයේ ව්‍යූහය,රටාව, සීමා එහි විඳිමත් ක්‍රියාකාරීත්වය මනාව නිරීක්ෂනය කරන කෙනෙකු ඒවා අහඹු සිදුවීමක් ලෙස සිතයිද? විශ්වයේ ඇතිවූ කිසියම් අජටාකාශ අනතුරක් වශයෙන් කිසියම් විද්‍යඥයකු අදහස් කරන්නේ මක්නිසාද?

මෙම විශ්වය බිහිවූයේ කෙසේද? එහි ගමන් මාර්ගය කොතැනකින් කෙළවර වේද? එය ක්‍රියාත්මක වන්නේ කෙසේද? යන්න පිළිබඳ පර්යේෂන කිරීම විද්‍යාඥයන්ට නම් කැමති මාතෘකාවක් වනු ඇත. 20 වැනි සියවසේ ආරම්භය දක්වාම විද්‍යාඥයින් මෙම විශ්වය පිළිබඳ දැක්වූ අදහස වූයේ, මෙම විශ්වය ආරම්භයක් හෝ අවසානයක් නොමැති බවය. මෙය විද්‍යාඥයන් විසින් හඳුන්වනු ලැබුවේ, ස්ටැටික් යුනිවස් මොඩල් යනුවෙනි.

ව්‍යාපත්වන විශ්වය
ඇමරිකානු විද්‍යාඥ එඞ්වින් හප්ස් 1929 දී අජටාකාශ පර්යේෂනයේ දී අළුත් මතයන් ඉදිරිපත් කළේය. අති විශාල දුරේක්ෂ ඔස්සේ තාරකාවලින් විහිදෙන ආලෝක ධාරාව නිරීක්ෂනය කළ ඔහු අලෝක ධාරා වර්ණාවලින් (Spectrum) ඇති කරන වෙනස්කම් සැලකිල්ලට ගෙන තාරකාවන් නොකඩවා ඈතින් ඈතට ගමන් කරමින් ඇති බව ඔහු ප්‍රකාශ කළේය. තවද තාරකා සහ තාරකා පද්ධති එකින් එක ඈත්වෙමින් තිබෙන බවත් ඔහු පැහැදිලි කළේය. මෙසේ විශ්වයේ ඇති වස්තූන් එකින් එක ඈත්වෙමින් තිබීම අපට පවසන සත්‍යය නම් මෙම විශ්වය තප්පරයෙන් තප්පරය ප්‍රසාරණය වෙමින් පවතිනවා යන්නය.

ඉහත සොයා ගැනීමට පෙරාතුවම ඉකුත් ශතවර්ශයේ දී අජටාකාශ විද්‍යඥයෙකු වූ ඇල්බට් අයන්ස්ටයින් තම සොයා ගැනීම්වලින් ප්‍රකාශ කළේ මෙම විශ්වය නිසොල්මන්ව ඒකාකාරයේ තිබිය නොහැකි බවය. එහෙත් ඔහු එක් වරම තම අදහස ප්‍රකාශ කළේ නැත. එයට හේතුව විශ්වය නිශ්චල ව පවතින බවට මීට කලින් විද්‍යාඥයින් ඉදිරිපත් කළ අදහස්වලට ප්‍රති විරුද්ධ අදහස් එළි දැක්වීමේ ඔහු පරිස්සම් වීමයි. තරමක් පසු කාලයේදී එම සත්‍යය ලොවට හෙළදරව් කළ ඔහු එතෙක් එය හෙළිදරව් නොකිරීම විශාල වරදක් බවත් ඔහු කියා සිටියේය. මෙම කාරණාවලින් ඔප්පු වන්නේ විශ්වය ප්‍රසාරණය වෙමින් පවතින බවය. පර්යේෂණ එතැනින් අවසන් වූ නැත. බොහෝ පර්යේෂණ වල ආරම්භයම එයම විය.

විශ්වය ප්‍රසාරණය වෙමින් පවතින්නේ නම් කාලයක් යන විට මෙය ඉතා විශාල වනු ඇති බව වටහා ගත හැකිය. එසේ නම් ඈත අතීතයේ මෙය කුඩා පරිමානයෙන් තිබෙන්නට ඇත. අවුරුදු මිලියන ගණනාවකට පෙර කිසියම් අදියරක මෙම විශ්වය කුඩා තිතක් වශයෙන් තමන් තුළ විශ්වය නිර්මාණය කිරීමට අවශ්‍ය සියළු වස්තූන් සමග හා ශක්තීන්(Matter and energy) සමඟ තිබෙන්නට ඇත. එම වකවානුවේ අපගේ මෙම විශ්වයේ පරිමාව ශූන්‍ය ලෙසත් ඝණත්වය සීමා රහිත වත් තිබුණු බව අවබෝධ කර ගත හැකිය. පරිමාව ශුන්‍ය යන්නෙන් අදහස් වන්නේ කුමක්ද? කිසිවක් නොමැති තත්ත්වයක් නොවේද? ඒ කියන්නේ Nothingness කිසිවක් නොමැති තත්ත්වයක සිටය මෙම විශ්වය ඇතිවූ විට එයින් වටහා ගත හැකි නේද?

එය වචනවලින් කියන්නේ නම් මෙම විශ්වය නිර්මාණය කරන ලද්දක් බවය. (It was created) කිසිවක් නොමැති තත්ත්වයක සිට මෙම විශ්වය නිර්මාණය කරන ලද්දක් බව සත්‍යයක් නම් එහි නිර්මාතෘ කෙනෙකු පිළිබඳ විශ්වාසය කිරීමේ ගැටළුවක් මතුවේ ද?

විශාල පිපිරීමකින් මෙම විශ්වය ඇතිවූ බව සොයාගැනීම 20 වැනි සියවසේ වැදගත් සොයා ගැනීමකි. Big Bang යන නමින් හඳුවනු ලබන විද්‍යත්මක මූල ධර්මයBig Bang Theory යන නමින් හැඳින්වේ. වසර මිලියන 15 කට පෙර (එනම් අවුරුදු කෝටි 1500) ඉතා කුඩා තිතක් වශයෙන් තිබුණු විශ්වය තප්පරයක කුඩා කොටසක් වැනි ඉතා සුළු වේලාවකින් පන්දුවක් තරම් විශාල වී මිනිත්තුවක් වැනි කෙටි කාලයක් තුළ සැතපුම් මිලියන ගණන් ව්‍යාප්තවූ බව විද්‍යාඥයින් ගණන් බලා කියා ඇත. මෙම මහා පිපුරුමට පසුවය ඉතා කුඩා පරමානුවේ සිට විශාල තාරකා, තාරකා පද්ධති සහ තවත් ග්‍රහ මණ්ඩල ඇති වූ බව කියවේ.

විශ්වය ඇතිවූ ඒ මොහොතේ දීම භෞතික නියමයන්ද(Law of physics) ඇති වී ඇත. එම නියමයන් සමස්ථ විශ්වයටම එකම ආකාරයට බලපෑම් කරයි එහි කිසිම වෙනසක් නොමැත. එය වෙනසක් වන්නේද නැත. එම නිගමනයේ ඉතා සුළු විපර්යාසයන් සිදු වූවත් එයින් විශ්වයම විනාශයට පත්වන්නට ඉඩ ඇති බවයි විද්‍යා මතය වී ඇත්තේ අප මුලින් සඳහන් කළ විශ්වයේ ව්‍යාප්තිය ගත් කල එසේ ව්‍යාප්ත වීමේ වේගය ද කිසියම් නිශ්චිත වේගයක් බව සඳහන් වේ. එය අනතුරුදායක ව්‍යාප්ත වේගය(Critical Rate of Expansion) යනුවෙන් හැදින්වේ. මෙම විශ්වයේ මහා පිපුරුම සොබාදහමත් විශ්වයත් බැඳ තබාගෙන ඇති නියුටන් නියමයන් අතර නිශ්චිත වූ සූක්ෂම සමතුලිත වේගයකින් මෙම විශ්වය ව්‍යාප්ත වන බව විද්‍යාව පැහැදිලි කර ඇත. මෙම විශ්වයේ ව්‍යාප්තවීමේ වේගය අංශුමාත්‍රයකින් (තප්පරයෙන් කෝටියෙන් එකක් අධික වූවත් අඩු වූවත්) වෙනස් වූවත් විශ්වය අද තත්ත්වයට පත්වන්නට කලින්ම පුපුරා ගොස් විනාශ වී ඇති යන්න දැනටත් ජීවතුන් අතර සිටින විද්‍යාඥ ස්ටීෆන් හෝකිං පවසයි.

කවදත් නොවෙනස්වන ආකාරයේ ස්වභාවික නියමයන් මෙම විශ්වය ඇති කරන්නට සමත් වූයේ කෙසේද? තමන්ට අවශ්‍ය වේගය තමා ම තීරණය කර මෙම විශ්වය ව්‍යාප්ත වන්නේද? එසේ නම් මේවා අහඹු සිදුවීම් යයි කියන්න අපේ බුද්ධිය ඉඩ දෙන්නේද?

පිපිරීමක් යනු විනාශයන් බව පොදුවේ අපි දනිමු. පරමානු බෝම්බයක් පුපුරා ගියහොත් කුමක් සිදුවේද? ගිනි කන්දක් පුපුරා ගියහොත් ඇතිවන විපර්යාස කුමක්ද? ජීවිත හා දේපල විනාශ කොයිතරම් සිදුවෙයිද? එහෙත් Big bang මහා පිපුරුම පමණක් කිසියම් සීමාවන් පිළිවෙලක් අනුව තරුවැල්, ග්‍රහලෝක ඇති කර ඒවා කිසියම් නිශ්චිත රටාවකට වේගයකට ක්‍රියාත්මක කරවන්න සමත්වූයේ කෙසේද?

එක්තරා කාලයක අපගේ විශ්වය යනු ශුන්‍යවූ එකකි. පසු කලෙක එය නිර්මාණය වූයේ කිසියම් ක්‍රමයකට හා නියමයන්ට අනුකූලවය. එය අද දක්වා ක්‍රියාත්මක වෙමින් පවතී. එසේ වීමට තරම් විශ්වය යනු කුඩා වස්තුවක්ද නොවේ. ආලෝක වර්ෂ දෙදාහසකට වඩා ඔබ්බට ගිහින් තවත් ව්‍යාප්තවෙමින් පවතී ආලෝක වර්ෂයක් යනු තප්පරයකට කිලෝ මීටර තුන් ලක්ෂයක් වේගයෙන් එක් වර්ෂයක් ගමන් කරන දුරය. එය කෝටි නවලක්ෂයක් බව ගණන් බලා ඇත. මෙතරම් දැවැන්ත වස්තුවක් ඉබේම ඇතිවී ඉබේම ව්‍යාප්ත වී ඉබේම කිසිම අනතුරක් නොමැතිව වසර කෝටි ගණනක් ක්‍රියාත්මක වෙමින් පවතින බවත් විද්‍යාඥයින් අදත් කියමින් සිටීම සත්‍ය වශයෙන් ම විශ්වාස කළ හැකි කරුණක් ද? දේව සංකල්පය, දේව විශ්වාසය සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කළ යුතුය,(Atheist) යන පදනමේ සිටින්නා වූ විද්‍යාඥයින් මෙසේ අහඹු මූලධර්මයන් ඉදිරිපත් කරති.

විද්‍යාඥයින් දේව සංකල්පයට විරුද්ධ වීම කවදත් තිබුණු සාමාන්‍ය දෙයක් ද? ඇත්තෙන්ම මෙවැනි ප්‍රවනතාවක් පෙන්නුම් කරන්නේ ගතවූ වසර 200 ක කාලයක් තුලයි එයට පෙර විද්‍යාව යනු මිනිසා දේව විශ්වාසය කරා යොමුකර වන මාවතක් විය. මෙම විශ්වය මැවුම්කරුවෙකුගේ නිර්මාණයක් බව පිළිගන්නා විද්‍යාඥයින් බොහෝය.

  1. නවීන විද්‍යාවේ පියා වශයෙන් සලකන රොබර්ට් බොයිස් (Robert Boyce)
  2. ලොවේ අඝ්‍රගණය භෞතික විද්‍යාඥ මයිකල් ෆරඬේ. (Michael Faraday)
  3. ජාන තාක්ෂන විද්‍යාවේ පියා වශයෙන් සැලකෙන ග්‍රෙගොරි මෙන්ඩල්, (Gregory Mendel)(චාල්ස් ඩාවින්ගේ පරිනාම වාදයේ කිර්තිය අඩුවීමට හේතු වූයේ මොහුය).
  4. සුප්‍රකට බැක්ටීරියා විශේෂඥ ලුයිස් පාස්චර් (Louis Pasteur)(චාල්ස් ඩාවින්ගේ මතයට විරුද්ධව දැඩි ලෙස විරුද්ධ වූයේ මොහුය).
  5. පරමානු විද්‍යාවේ පියා වශයෙන් සැලකෙන ජෝන් චාල්ටන්(John Charlton)

මෙසේ ලැයිස්තුව දීර්ගවේ.
සහෝදර , සහෝදරියනි මැවුම්කරු (අල්ලාහ්) විශ්වාස කිරීම හෝ නොකිරීම යනු පුද්ගලික කැමැත්තක් යයි කියා ඉවත් කළ හැකි සුළු දෙයක් නොවේ. අල්ලාහ් (දෙවියන්) පිළිබඳ අපගේ ස්ථාවරය යනු ජීවිතයේ අරමුණ තීරණය කරන්නකි. ජීවිතය යනු එකම එකම අවස්ථාවක් පමණක් ලැබෙන උතුම් දෙයකි. එම නිසා අපගේ කැමැත්ත ඇකැමැත්තට සීමාවී නොසිතා සත්‍යය සෙවීමේ අභිලාශයෙන් ඇත්තෙන්ම විශ්වය මවා පරිපෝෂනය කරන්නේ දෙවියන් ද? යන්න සිතා බැලිය යුතුය.

මෙම ස්ථානයේ දී මාර්ගය දිශා දෙකට බෙදේ. එක් අයෙකු අල්ලාහ් දෙවියන් ප්‍රතික්ෂේප කරයි. සියළු සාක්ෂි හා සාධක ඔහු ඉදිරියේ තබනු ලැබේ, එහෙත් මේවා අහඹු සිදුවීම් යැයි පවසා ඔහු ප්‍රතික්ෂේප කරයි. ඔහුට අනුව මිනිසාගේ උපත අහඹු සිදුවීමකි, මරණයද එසේමය. ඉපදීම මරණය අතර ඇති ජීවිතයද අහඹු සිදුවීම්ය. ඔහුගේ මාර්ගය පිළිබඳව අපට කීමට ඇත්තේ කුමක්ද එම මාර්ගය ආලෝකමත් එකක් කියාද? නැත නියතවම එය අඳුරු මාවතකි.

තවත් අයෙකු දෙවියන් ව(අල්ලාහ්) මැවුම් කරුවා ලෙස පිළිගනී. අහසේ පොලොවේ ඇති සියළු දේ පිළිබඳ ඔහු සිතයි. එයින් ලැබෙන සියළු සාධක ඔහුගේ විශ්වාසය ස්ථීර කරනු ලබයි. මෙතරම් සුවිශාල වූ විශ්වයක් අල්ලාහ් නිකරුනේ නිර්මානය කරයි ද? යනුවෙන් ඔහු කල්පනා කරයි. අල්ලාහ් දෙසට ඔහු නැඹුරු වෙයි. අල්ලාහ් ඔහුට නබිවරුන් (දෙවියන්ගේ දූත පිරිස)ලවා නිවැරදි ජීවන මග උගන්වනු ලැබෙයි. නබිවරුන් පෙන්වන මාර්ගයේ ඔහු ගමන් කරයි. ඔහුගේ මාර්ගය ආලෝකයින් පිරුනු සෘජු මාර්ගයක්ද වෙයි.

ඔබ තෝරාගත්නේ මෙයින් කුමන මාර්ගයද? උපන්දා සිට නො එසේනම් පරම්පරා ගණනාවන් ම අල්ලාහ් ප්‍රතික්ෂේප කරමින් ජීවත් වූ මා දැන් කෙසේද වෙනස් වන්නේ යැයි සිතනවා ද? මධ්‍ය කාලය දක්වා මිනිසා පෘතුවිය පැතලි බව විශ්වාස කරමින් සිටියේය. ඉන් පසුව සත්‍ය අවබෝධයෙන් එම විශ්වාසය වෙනස් කර ගත්තේ නැතිද? පෘථිවිය වටා සූර්යයා ඇතුළු සියළු ග්‍රහයන් ගමන් කරන බව මිනිසා කාලයක් විශ්වාස කර පසුව එය වෙනස් කර ගත්තේය.

එමෙන්ම සියළු වස්තුන් ස්ථීරසාර වේ. එයට ආරම්භයක් හෝ අවසානයක් නොමැත යනුවෙන් විශ්වාස කරමින් සිටි විද්‍යාඥයින් ශුන්‍යයේ සිට මෙම විශ්වය ඇතිවූ බව Big bang මහා පිපුරුම් වාදයෙන් ඔප්පු කළහ. මුලදී එය පිළිගැනීමට මැළි වූහ. මන්ද එසේ මැලිවූයේ? එයට එකම හේතුව වනුයේ ශුන්‍යයේ සිට මෙය නිර්මාණය වූ බව විශ්වාසය කළ විට එය ශුන්‍යයේ සිට නිර්මාණය කළා වූ නිර්මාතෘවරයෙකු සිටින බව පිළිගැනීමට සිදුවෙතැයි යන චකිතයයි. එහෙත් විකල්පයක් නොමැති හෙයින් එය පිළිගන්නට සිදුවිය. එසේ වූවත් තවමත් එය පිළිනො ගන්නා විද්‍යාඥයින්ද සිටිති.

මැවුම්කරුවෙකු පිළිබඳ විශ්ව්‍යාධිපති, පිළිබඳ ව එනම් අල්ලාහ් පිළිබඳ ව පිළිගැනීම හෝ ප්‍රතික්ෂේප කරන අයට පැවසීමට කරුණක් ඇත. මෙම ලිපියේ සඳහන් කළේ එකම එක හේතුවක්,හා සාධකයක් පමණි, එයින් ඔබ සෑහීමට පත් නොවන්නට පුළුවන. දහස් ගණන් සාධක ඔබ ජීවිතයේදී දැක ගැනීමේ හා අත්විදීමේ අවස්ථා ඇත. ඔබ කළ යුතු එක දෙය වන්නේ ඔබේ හදවත විවෘතව තබාගන්න එය වසා අගුලු දමනු එපා.

Avatar

About ප්‍රබෝධය මාසිකය

View all posts by ප්‍රබෝධය මාසිකය →