මිනිස් වර්ගයාගේ පැවත්මට මහා බාධකයක් : කොරෝනාවෙන්අපට පාඩමක්

මහ පොලොවේ ඇති විශාලතම සංවිධානය මිනිස් සමාජයයි. එහි සාමාජිකයින් වන මිනිසුන්ගේ ක්‍රියාවන් වචනයෙන් විස්තර කළ නොහැකි තරමට සංකීර්ණයි. මේ වන විට එම සංවිධානය හරස් කොට මහා බාධකයක් වැටී ඇත. එම බාධකය වනුයේ කොරෝනා නැමති අදෘශ්‍යමාන කුඩා වෛරසයයි.

රටවල් අක්‍රියවී ඇත. නගරවල් ජනසූන්‍ය වී ඇත. වීදි මෙන්ම වෙළෙඳසැල් වැසී ගොස් ඇත. පාසල් මෙන්ම විශ්ව විද්‍යාලයන්ද වැසී, ඒවා දින නියමකින් තොරව කල්තබා ඇත. ගුවන් සේවාවන් අත්හිටුවන ලදී. ආනයනය මෙන්ම අපනයන්ද අත්හිටවනු ලැබ ඇත. රටවල් ගණනාවක ආර්ථිකය කඩා වැටී ඇත. නිවාස මිනිසුන්ගේ සිරගෙවල් බවට පත්ව ඇත. මිනිසුන්ගේ රැකියාද ඔවුන්ගේ නොනවතින දිවිල්ලද මොහොතකට නැවතී ඇත. දහස් ගණන් මිනිසුන්ගේ බලාපොරොත්තු සුන්වී ඇත. කොරෝනා වයිරසයෙන් ආරක්ෂා විය යුතු බවට මිනිසාගේ සිත්සතන් බියෙන් වෙව්ලන්නට පටන්ගෙන ඇත. එයට ගොදුරු වූ අය කළ හැකි දෙයක් නොමැතිව ලතවමින් සිටිති. ඔවුනතුරින් දහස් ගණනින් ජීවිතක්ෂයට පත්වී ද ඇත.

මෙම මිනිස් ව්‍යසනය ගැන සිතන අය උගත යුතු පාඩම් සිය ගණනාවක් ඇත. අදෘශ්‍යමානව මිනිසාට එරෙහිව සටන් වදිමින් සිටින එම වයිරසයට මුහුණ දීමට නොහැකිව මුළු ලෝකයම තිගැස්සී ඇත. මිනිස් වර්ගයාට අභියෝගයක් ලෙස ක්‍රියාත්මකවන මෙම තත්ත්වය ගැඹුරින් අධ්‍යයනය කරන මිනිසාට එමගින් පාඩම් ගණනාවක් උගත හැකිය. මෙම තත්ත්වය අධ්‍යයනය කිරීමෙන් අනතුරුව ඔවුනොවුන්ගේ දැනුම හා හැකියා අනුව පාඩම් ගණනාවක් උගත හැකිය.

මිනිස් වර්ගයා මෙම තත්ත්වය පිළිබඳ අධ්‍යයනය කළත් නොකළත් එමගින් පාඩමක් ලැබුවත් නොලැබුවත්, මුළු ලෝකයම ඩැහැගෙන සිටින මෙම වයිරසය තවත් නොබෝ දිනකින් මර්දනය කෙරෙනු ඇත. වයිරසය අදෘශ්‍යමානව පවතින තරමට කුඩා වූවද, මිනිස් වර්ගයා තම සියලුම හැකියා ඒකරාශී කරගෙන එම වයිරසයට එරෙහිව සටන් වැදී යථා තත්වයට පත්කෙරෙනු ඇත. එහෙත් එම සටනින් ජයග්‍රහණය කිරීමට මිනිස් සමාජය දිය යුතු මිල කොපමණදැයි ගණනය කළ හැකිද?

දින හයක් තුල අති නවීන රෝහල් නිර්මාණය කර කොරෝනා වයිරසය ව්‍යාප්තවූ පළාත වසා දමා, එම පලාතේ සිටි ජනතාව හුදකලා කර අවශය අනෙකුත් සියලු පියවර ගැනීමෙන් පසුව දැන් චීන රජය හා එහි ජනතාව යථා තත්වයට පත්වෙමින් සිටින බවට තොරතුර ලැබෙමින් පවතී.

චීන රජය තමන් සතුව ඇති සියලු භෞතික හා මානව සම්පත් උපරිම අන්දමින් යොදා ගනිමින්, කොරෝනා වයිරසයට එරෙහිව දියත් කළ සටන ප්‍රශංසනීයයි. මෙම වසංගත රෝගයෙන් මිදීමට සුදුසු ප්‍රතිකාරය කුමක් ද? ඉස්ලාමයේ ඉගැන්වීම් අනුව නිවැරැදි ක්‍රමය කුමක් ද?

නබි තුමා මෙසේ පැවසීය. ප්‍රතිකාර කරන්න! එක් එක් රෝගය සුව කිරීම සඳහා අවශ්‍ය බෙහෙතක් ඇත. වසංගත රෝග ඇති ප්‍රදේශවලට නොයන්න. එමෙන්ම වසංගත රෝග ව්‍යාප්තවූ ප්‍රදේශවලින් ජනතාව පිට නොවන්‍්න.

වසංගත රෝගයක් පැතිරී යන බව දැනගත්තේ නම් සිංහයාගෙන් ඈත්වී සිටින්නාක් මෙන් ඉන් ඈත්වී සිටින්න. යනාදී නබි වදන්වලට උචිතවූ අන්දමින් මෙහිදී ප්‍රතිකාර කරන්නේ කවුරුන්දැයි සිතා බලන්න. අප මෙහිදී අවබෝධ කරගත යුතු කරුණක් ඇත. එනම් ඉස්ලාමයේ නියම මගපෙන්වීම වනුයේ, ප්‍රශ්නයක් විසඳීමේදී තමන් සතුව ඇති සියලු භෞතික හා මානව සම්පත් හැකිතාක් ප්‍රයෝජනයට ගැනීමයි. අපෙන් එනම් මුස්ලිම්වරුන්ගෙන් ඇතැම් පිරිස් අප ඉදිරිපත් කරන මෙවැනි කරුණු අවබෝධ කිරීමට අපොහොසත් වී ඇත. අප මෙලෙස පවසන විට, පෙරලා අප වෙත ඔවුන් අප අල්ලාහ් කෙරෙහි විශ්වාසය නොතබා භෞතික වස්තූන් කෙරෙහි විශ්වාසය තබා ඇති බවට තර්ක කල හැකිය.

ඉස්ලාමයේ ඉගැන්වීම් අනුව මෙම දෙආකාරයම පිළිපැදිය යුතුවේ. අප කුමන කටයුත්තක නිරත වූවද ඒ පිළිබඳව අල්ලාහ් කෙරෙහි විශ්වාස තැබිය යුතුවේ. ඉස්ලාමයේ දෙවිඳුන් පිළිබඳ විශ්වාසය යන්න එයයි. අවශ්‍යතාවක් වූ විට භෞතික හා මානව සම්පත්වලින් උපරිම ප්‍රයෝජනය ලබාගැනීමට අප යුහුසුළු විය යුතුය. ඉස්ලාමීය වත්පිළිවෙත් යන්නෙන් හඳුන්වන්නේද එයයි. (වත්පිළිවෙත් යන්න, මිනිස් ජීවිතය හා සම්බන්ධවී ඇති සියලු යහ ක්‍රියාවන්වේ යන්න මුස්ලිම්වරුන් වශයෙන් අපගේ අවධානයට ලක්කර කරගත යුතුවේ.) ඉස්ලාමීය දේව විශ්වාසය අනුව භෞතික වස්තූන්වලට මුල්තැනක් නොමැති බව සැබෑය. එහෙත් වත්පිළිවෙත්වල නිරතවීමේදී භෞතික වස්තූන් වැදගත් සාධකයන් බවට පත්වේ. තවත් අන්දමකින් පවසන්නේ නම් ඇතැම් අවස්ථාවලදී භෞතික වස්තූන් නොමැතිවිටක වත්පිළිවෙත්වල නිරතවිය නොහැකිය!

වර්තමාන ලෝකයේ දේව විශ්වාසය ඉවත්කර භෞතික වස්තූන් කෙරෙහි පමණක් විශ්වාසය තබන පිරිසක් සිටිති. එහෙත් ඒ වෙනුවට භෞතික වස්තූන් මුළුමනින්ම අමතක කොට දේව විශ්වාසය ගැන පමණක් සිතා ක්‍රියා කිරීමද ඉස්ලාමය නොවේ.

දේව විශ්වාසය යන්නද සාමාන්‍ය දෙයක් නොව, ඒ විශ්වාසය එයටම ආවෙනික වූ ක්‍රමයට පිළිගතයුතුවේ. දේව විශ්වාසය එලෙස පිළිගෙන කටයුතු කිරීමේදී මිනිස් සංහතිය සීමා රහිත යහ ප්‍රතිඵල ලබාගනී.

මුස්ලිම්වරුන් වශයෙන් අප කළ යුත්තේ අපගේ ක්‍රියාකාරකම් මගින් යම් රෝගයක් බෝවීමට ඉඩ නොදී එය මර්දනය කිරීමට ගත හැකි සියලු පියවරවල් උපරිම අන්දමින් ගැනීමත් ඉන් අනතුරුව එය අල්ලාහ් වෙත බාරකිරීමත්ය. එමගින් යහ ප්‍රතිඵලයක් ලැබෙන්නේ නම්, ඒ වෙනුවෙන් අල්ලාහ්ට ප්‍රශංසා කළ යුතුයි. එමෙන්ම අසතුටුදායක ප්‍රතිඵලයක් ලැබෙන විට කලකිරීමට පත් නොවී ඉවසිලිමත්ව සිටිය යුතුයි. සිදු වූ දේ පිළිබඳව විලාප නොනගා එය පිළිගත යුතු අතර එම විපතින් තමන් අරක්ෂා කාර ගැනීමට අවශ්‍ය කටයුතුවල නිරතවිය යුතුයි. ඊට මුහුණ දීම සඳහා අවශ්‍ය පියවර නොබියව ගැනීමටත් ඒ සඳහා අවශ්‍ය ශක්තිය හා ධෛර්්‍යය තමන්ට නොකඩවා ලබා දෙන ලෙස අල්ලාහ්ගෙන් ප්‍රාර්ථනා කළ යුතුයි. එමෙන්ම තමන් විඳින දුක්කරදර වෙනුවෙන් තමන්ගේ පව් ක්‍ෂමා කරන ලෙසද, මරණින් මතු ජිවිතයෙදී ඒ වෙනුවෙන් තමන්ට තිළිණ ප්‍රදානය කරන ලෙසද අල්ලාහ්ගෙන් ඉල්ලා සිටිය යුතුයි. එමෙන්ම මෙම වසංගත රෝගය හේතුවෙන් තමන් අත්විඳින දුක් කම්කටොළු පිළිබඳව අනෙකුත් මිනිසුන් වෙත කරුණු ඉදිරිපත් කර එමගින් ඔවුන්ගේ අනුකම්පාව ලබාගැනීමට උත්සාහ නොකළ යුතුයි. එමෙන්ම තමන් මුහුණදෙමින්, සිටින මෙම ව්‍යසනය තවත් කෙනෙකු ඉදිරියේ කියාපාමින් විලාප නගන්නටත් උත්සාහ නොකළ යුතුයි. එ වෙනුවට මෙලොවදී සැපවත් නීරොගි ජීවිතයක් ලබාදීම මගින් හෝ මරණින් මතු ජීවිතයෙදී සැපවත් ජීවිතයක් ලබාදීමෙන් හෝ මහා කාරුණිකවූ අල්ලාහ් අනිවාර්්‍යයෙන්ම තමන්ට උපකාරී වනු ඇතැයිද කිසිවිටක ඔහු මා අත් නොහරිනු ඇතැයිද දැඩිලෙස විශ්වාස කිරීම ඉස්ලාමීය විශ්වාසය හෙවත් ඊමානයවේ.

එහෙත් එලෙස නොවී, පස්වේල නැමදුමට හෝ ජුම්ආ නැමදුමට හෝ පල්ලිලයට නොයන්නැයි අවවාද කර තිබියදී ඊට එරෙහිව පල්ලියට යෑමට උත්සාහ කිරීම, නියම (ඊමානය) ඉස්ලාමීය විශ්වාසය වන්නේ නැත. එමෙන්ම මෙම රෝගයෙන් වැලකී සිටීම සඳහා කරනු ලබන පූර්ව අනතුරු ඇඟවීම් ගණනකට නොගෙන සියලුම ප්‍රශ්න අල්ලාහ් විසඳනු ඇතැයි උපකල්පනය කරමින් රෝගය ව්‍යාප්තවීමේ ක්‍රියාවලියන් ගැන නොසිතා සිටීමත් ඉස්ලාමීය විශ්වාසය හෙවත් ඊමානය වන්නේ නැත.

මෙවැනි ක්‍රියාවන් ඊමානය නොවන බව කියමින් අක්‍රීයව සිටිය නොහැකිය. මෙවැනි චින්තනයන් හා එ අනුව ක්‍රියාවල නිරතවීමත් දඩුවම් විඳිය යුතු වැරදි වන බව මෙහිදී අවධාරණ කළ යුතුවේ. එවැනි ක්‍රියා ඉස්ලාමයට පටහැනි බවද මෙහිදී සඳහන් කළ යුතුව ඇත.

හිතවත් සහෝදර සහෝදරියනි, අප මෙතෙක් ඔබ හා සාකච්ඡා කළේ මෙම රෝග උවදුරට මුහුණ දීමට අවශ්‍ය වූ කරුණු කීපයකි. වත්මන් ලෝකය මුහුණදී ඇති මෙම ප්‍රශ්නය මුස්ලිම්වරුන්ට පමණක් අදාල වන්නේද නැත. එය වත්මන් ලොවේ ජීවත්වන සියලු මනුෂ්‍ය වර්ගයාගේම ප්‍රශ්නය වේ. එහෙත් මෙම ප්‍රශ්නයට මුහුණ දීමේදී ඇතැම් අවස්ථාවල මනුෂ්‍යත්වය හා මානව දයාව මිනිස් සමාජයෙන් ක්‍රමක්‍රමයෙන් ගිලිහී යන බවද පෙනේ. ඇතැම් ආත්මාර්ථකාමී පිරිස් තමන් පමණක් ආරක්ෂා කර ගැනීමටත් තමන්ගේ අවශ්‍යතාවන් පමණක් සපුරා ගන්නටත් දැඩි උත්සාහයකින් ක්‍රියා කරන බව පෙනේ. එහි ප්‍රතිඵලයක් වශයෙන් අනෙකුත් සියලු පාර්ශවයන් තමන්ට එරෙහිව නැගී සිටින තරඟකරුවන් ලෙසද ඔවුන්ට දිස්වේ. එමෙන්ම සමාජයේ අනෙකුත් පිරිස් මෙම රෝගය ව්‍යාප්ත කරන රෝග කාරකයින් ලෙසද ඔවුහූ දකිති. තමන් ඉතාමත් අවධානයෙන් සිටිය යුතු බවට යමෙක් සිතිම වැරදි නොවේ.

එහෙත් සමාජයේ සිටින අනෙක් මිනිසුන්ටද, මනුෂ්‍යත්වය පදනම් කරගනිමින් දයාවෙන්ද, කරුණාවෙන්ද, අනුකම්පාවෙන් ද සැලකීම ඉතා වැදගත්ය. ඊටත් වඩා උසස් සත්ක්‍රියාවක් මෙලොවදී දකින්නට නැත. අප සියල්ල අනෙක් සියලු ජනතාවගේ යහපත තකා ක්‍රියාකළ යුතුවේ. මෙම රෝග උවදුරෙන් සියලු ජන කොටස් මුදවා ගැනීමටත් අප උත්සාහ කළ යුතුයි.

භූමිකම්පාව, ගංවතුර හා සුනාමි වැනි ආපදාවන්හිදී මිනිස් සමාජය වෙනුවෙන් සේවය කළ අන්දමට මෙහිදී ක්‍රියාකළ නොහැකි බව අපි දනිමු. එහෙත් රටේ සියලු ජන කොටස් වෙත දයාව හා අනුකම්පාව විදහා දක්වමින් එ අයට උදව් උපකාර කරන්නටත් ඔවුන්ගේ සිත් සතුටු කරන්නටත් ඔවුන්ව ධෛර්්‍යයමත් කර මනුෂ්‍යත්වය ආරක්‍ෂා කර ඔවුන් සියල්ලන් වෙනුවෙන් අල්ලාහ්ගෙන් ප්‍රාර්ථනා කිරීම මගින්ද මෙම අවස්ථාවේදී අපගේ දායකත්වය ලබාදිය හැකිය.

එදිනෙදා ජීවත්වීම සඳහා තාවකාලික රැකියාවන්හි නිරතවී සිටින අයද දිළින්දන්ද රොගීන් වැඩිහිටි නිවාසවල රැඳී සිටින්නන් ද ළමා නිවාසවල රැකවරණය ලබා සිටින්නන් ද මෙවැනි අවස්ථාවලදී ඉතාමත් බරපතල තත්ත්වයකට මුහුණපා සිටිය හැකිය. එ පැත්තටද තම අවධානය යොමු කර ක්‍රියා කිරීම අවශ්‍ය බවට මෙහිදී සිහිපත් කිරීම අවශ්‍යවේ.

ජීවතුන් අතර සිටියද, මරණයට පත්වූවද යහපත් ජීවිතයක් ගතකර යහපත් අන්දමින් මරණයෙහි සුවය විඳීමට සර්ව බලධාරි අල්ලාහ් අපට ආශිර්වාද කරන ලෙස අපගේ දෑත් ඔසවා අප ප්‍රාර්ථනා කළ යුතුයි.

කොරෝනා ව්‍යසනයෙන් අපගේ රටද, අපගේ රට වැසියන්ද, මුළු ලෝ වැසියන්ද ආරක්‍ෂා කරත්වා!

උපුටාගැනීම: උස්තාද් හජ්ජුල් අක්බර් වෙබ් පිටුවෙන්

Avatar

About උස්තාද් හජ්ජුල් අක්බර් වෙබ් පිටුව

View all posts by උස්තාද් හජ්ජුල් අක්බර් වෙබ් පිටුව →