මිනිසුන් යන්ත්‍ර වගේ යයි සිතන්නට එපා

කොරෝනාවෙන් ජීවිත පාඩමක්

කොරෝනා වෛරසයේ ආගමනයත් සමග චීනයේ දික්කසාද සංඛ්‍යාව වැඩිවී ඇති බවත් ශ්‍රී ලංකාවේ රෝහල්වලට සැමියාගේ පහරදීමට ලක්වූ බිරිඳන් වැඩි වශයෙන් ඇතුළුවන බවත් තොරතුරු ලබමින් තිබේ.

මේ මොනවාද අළුත් කොරෝනා ගැටළුවක් දැයි කියා සිතන්නේද? මෙය කොරෝනා ප්‍රශ්නයක් නොවේ. කොරෝනා නිසා අනාවරණයවූ ප්‍රශ්නයකි. පවුල්වල සැඟවී තිබූ ගැටළුවක් කොරෝනා විසින් එලියට ඇද දමා තිබේ.

රෑ දහවල් නොබලා වෙහෙස මහන්සි වී මුදල් උපයා ජීවිතය ගැටගහගන්නා බොහෝ පිරිස් කොරෝනාව නිසා අනිවාර්‍ය විවේකයට භාජනයවී ඇත. තවත් ආකාරයකට කියන්නේ නම් සමාජයෙන් හුදකලාවී ඇත. හුදකලාවූ පවුලේ සාමාජිකයින් සැමියා බිරිඳ දරුවන් හා විස්තීර්ණ පවුලේ සාමාජිකයින් සෑම මොහොතේම සෑම දිනකම එකට සිටීමට සිදුවී ඇත.

කාර්යාලීය රාජකාරී වැඩපලේ කටයුතු, ගමන් බිමන්, කුලීවැඩ වැනි සියල්ල අත්හිටුවීමට සිදුවී ඇති තත්වයක දරුමල්ලන් සමග පවුලේ ඥාතීන් සමග කැමත්තෙන් හෝ අකමැත්තෙන් කාලය ගෙවීමට සිදුවී ඇත. ඇතැම් අය සම්බන්ධයෙන් මෙය ඉතා ප්‍රියජනක අවස්ථාවක් වූවත් තවත් බොහෝ අයට මෙම විවේකය හා පවුල තුල හුදකලාවීම විශාල ගැටළුවක් බවට පත්වී ඇත.

සතියේ දිනවල් සති අන්ත දිනවල් කියා වෙනසක් නැතිව වැඩි කාලයක් ටියුෂන් පන්තිවල ගෙවන ශිෂ්‍ය ශිෂ්‍යාවෝ දැන් නිවෙසට වෙලා සිටිති.

වැඩිහිටියන් රෑ බෝවන තෙක්ම තම වැඩපලේ කාර්යාලයේ කල්ගෙවූහ. පිටස්තර රාජකාර්්‍යවලට නොයන ගෘහණියෙෘ් ගෙදර වැඩවල හා කැමති විනෝදාංශවල යෙදෙමින් කල් ගෙවූහ. කිසි කෙනෙකුට වෙනත් දෙයක් ගැන සිතීමට පවා වේලාවන් තිබුනේ නැත. එකම නිවසේ අයළුන් අවම සම්බන්ධතාව ඇතුව කාර්ය බහුල ජීවිතයක නිරත වූහ.

දැන් සියළු දෙනාම එකතැන කොටුවී එකිනෙකාගෙන් ඇතිවෙන අපහසුතාවලට මුහුණදීමට සිදුවී ඇත. සැමියාගෙන් අවශ්‍ය සහයෝග නොලැබීම, ළමයින්ගේ කන්දොස් ක්‍රියා, බිරිඳගේ තොරතෝංචියක් නැති කථා ආදී වශයෙන් දවස පුරාම විවිධ ගැටළුවලට මුහුණ දීමට සිදුවී ඇත. එකිනෙකාට නුරුස්සන ගතියෙන් කල් ගෙවීමට සිදුවී ඇත. මෙම තත්වයේදී සෙනෙහස, අන්‍යෙයෝන්‍ය සහයෝගය අසාත්මිකතා ඉවසා දරාගැනීමේ පරිනතබව, අයිතියක් ඇතත් තරවටුකම් හා කෝපය පිටනොකිරීමේ ඉවසිල්ල වැනි ගුණාංග නොමැති කොට ජීවිතය නැමති දුම්රිය පීලි පැණීමට බොහෝ දුරට ඉඩ ඇත.

ඇතැම් අය අනුන්ගෙන්, අපහසුතාවලට ලක්නොවිය යුතුබව හෝ තමන්ගේ කාර්යයන්ට කිසිවෙකු බාධා නොකලයුතුයි හෝ යන ස්ථාවරයේ තදින්ම සිටිති. එවැනි පිරිස් තම අසල සිටින්නන්ගේ දුර්වලතාවලින් අපහසුතාවලට පත්වී සෙසු අයවත් අපහසුතාවලට පත් කරති. අවම වශයෙන් ඔවුන්ගේ වචනවලින් හෝ ක්‍රියාවලින් වේදනාවට පත්වෙති. තමන්ව අපහසුතාවයට පත්කරන්නන්ට අවවාද කිරීමේ අයිතියක් තිබුනු විටක එවැනි අයට රිසිසේ සිටීමට කොහෙත්ම ඉඩ ලබා නොදෙති.

මවයි දරුවයි වුනත් බඩත් කටත් වෙනස් යයි කියනවා වගේ ස්වභාව හා හැඟීම්වලින් මිනිසුන් වෙනස්ය. වෙනස් ගුණාංග අනුව රුචි අරුචි අනුවයි මිනිසුන් නිර්මානය කර ලැබ ඇත්තේ. මිනිසුන් යන්ත්‍ර සූත්‍ර නොවේ. ඔවුහූ හැඟීම්වලින් යුත් ඕනෑ එපාකම්වලින් යුත් සංවේදී මනසකින් යුත් අයවෙති.

මිනිසුන් එක් එක් අය දෙස වෙන් වෙන්ව බැලිය යුතුයි. එක් එක් අයවෙත ඇති, ශක්තීන් හා දුර්වලතා සමග ඔවුන්ව තක්සේරු කල යුතුයි. නබිතුමා මේ ගැන මෙසේ කීවේය.

අයෙක් තම බිරිඳ සමග සතුටින් ජීවත්වේ නම් ඔහු ඇය තුළ ඇති දුර්වලතා සමගයි සතුටින් ජීවත්වෙන්නේ.

සතුටින් ජීවත්වීමට කියා කිසිම අඩුපාඩුවක් දුර්වලතාවයක් නැති අයෙකු සෙවීම නුවණැති කාර්යයක් නොවන බව නබි තුමා අවධාරණය කර ඇත.

සියළු දුර්වලතා ඉවත්කර අඩුලුහුඬුකම් වලින් තොර තත්වයකට ගෙනත් තමයි ඇය සමග සතුටින් ජීවත් විය හැක්කේ යයි කව්රුන් හෝ සිතන්නේ නම් ඔහු සිහින ලොවකට ජීවත්වන්නෙකි.

වරක් නබිතුමා වෙත අයෙක් පැමිණ තමාගේ බිරිඳ දික්කසාද කල යුතුයයි කිවේය. එය ඇසූ නබිතුමා ඇය කල වරද කුමක්දැයි විමසීය. එයට පිළිතුරු වශයෙන් ඇය සමග ජීවත්වෙන්න බෑ ඇයගෙන් වෙන්වෙන්න ඕනෑ යයි කීවේය. එවිට නබිතුමා බිරිඳක අතින් සිදුවිය හැකි වැරදි එකින් එක ගෙන මෙම දුර්වලතාව ඇය වෙත ඇත්දැයි විමසීය. ඔහු “නැත” “නැත” යනුවෙන් පිළිතුරු දුන්නේය. එසේ නම් ඔබට ඇය සමග ජීවත්විය නොහැක්කේ මන්දැයි නබිතුමා පෙරලා ප්‍රශ්න කලේය. දැන්නම් ඇය සමග ජීවත්විය හැකියයි කියමින් ඔහු එතැනින් නික්ම ගියේය.

මෙම සිද්ධිය ගෙනහැර දක්වන සත්‍යය නම් බිරිඳක් සතුව ඇති බොහෝ යහපත් ගුණාංග ඇතැම් දුර්වලතා නිසා සැඟවී යන බවයි. පසුව එම දුර්වලතා ඇයගේ සමස්ථයම වැරදි බවට බලන තත්වයක් ඇතිකරයි. ඉන්පසු ඇය පිළිබඳ සිතුවිල්ල උඩුයටිකුරුවී යන තත්වයක් ඇතිවන්නේය. මේවාට ඉඩනොදී ජීවිතය නමැති වාහනය පැදවිය යුතුයි යන පාඩම ඉහත සිද්ධිය අපට කියා දෙයි.

සතුටුදායක පවුල් ජීවිතයකට ඉඩ ලබා නොදින කාන්තාවන්ද පිරිමින්ද සිටිති. ඔවුන් ව්‍යාතිරේක පිරිසකි. එවැනි අය සමග ජීවත්වීම දුෂ්කර බව තීරණය කිරීමට කොරෝනා නිවාඩුවක් එන්න අවශ්‍ය නැත. නිවෙසේ හුදෙකලා වීමෙන් එය දැනගතයුතු නැත. සාමාන්‍ය කාලයම ඔවුන්ගේ වැරදි අවබෝධ කරගැනීමට ප්‍රමාණවත්ය. ඔවුන් පිළිබඳ අප මෙහිදී කථා කරන්නේ නැත.

දිර්ඝ කාලයක් ජීවිත වාහනය පැදවූ උදවිය, දරුමල්ලන් සමග ජීවත්වූ අය, පවුලේ සුළු ප්‍රශ්නවලට මුහුණදී අත්දැකීම් ලද අය අනිවාර්‍ය විවේක සමයකදී එකිනෙකා හෙලා දකින තත්වයක් පැනනගින්නේ මන්ද යන්න විශාල ප්‍රශ්නයකි.

ඇත්ත වශයෙන්ම මොවුන් වෙන් වෙන් වශයෙන් එක් එක් කටයුතුවල නිරතව සිටි අය, දරුවන් පාසලේදීත් වැඩිහිටියන් රැකියා ස්ථානයේදීත් ගෘහණියන් නිවෙසේ වැඩවලදීත් කාලය ගත කරමින් සිටියහ. සවස් වනවිට තෙහෙට්ටුවී නිවෙසට ලඟාවෙන මොවුන් යමක් ආහාරයට ගෙන උදෑසන නැවතත් සූදානම්වන මානසිකත්වයෙන්ම නින්දට යති. දැන් සියල්ලන්ටම ඇත්තේ එකම එක රාජකාරියකි. එය තමයි නිවෙසට වී කල්ගත කරන එක. පොඩි ළමුන් නම් හැකි අන්දමින් සෙල්ලම් කරති. කාන්තාවෝ විවේක කාලය විවිධ කථාබස්වලින් ගෙවා දමති. පිරිමින් තමන් කැමති විනෝදාංශයක නිරතවිමට කැමතිවෙති. නිවෙසේ කිසිම ගතියක් නැත. එක් අයෙක් අනෙක් අයගේ ක්‍රියාවෙන් සිදුවෙන ගැටළුවලට හුරු පුරුදු නොමැති කොට අතරේ විවිධ ගැටළු ඇතිවිය හැකිය.

මුදල් ඉපැයීමට පුරුදු වූනා වගේ, පාඩම් කිරීමට පුරුදු වූනා වගේ, විනෝද වීමට පුරුදු වූනා වගේ ජීවත්වීමටත් පුරුදු විය යුතුයි යන්න මෙහිදී අප කීමට උත්සාහ කරන කාරණයයි.

ජීවත්වීමට පුරුදු නොවූ අය මිනිසුන් අවබෝධ කරගන්නේ නැත. මොවුන් මිනිසුන් අවබෝධ කරගන්නේ යන්ත්‍ර සුත්‍ර අවබෝධ කරගන්නා ආකාරයටය. ගැටළුව ඇත්තේ මෙහිදීය.

මෙවැනි අය ජීවිතය අලුතෙන් ඉගෙන ගත යුතුය. මිනිසුන් හා ඔවුන්ගේ වෙනස්කම් මනාව අවබෝධ කරගත යුතුය. සතුටින් ජීවත්විය හැක්කේ එවිටය.

2020 මාර්තු 26
උපුටා ගැනීම: උස්තාද් හජ්ජුල් අක්බර්

Avatar

About උස්තාද් හජ්ජුල් අක්බර් 

View all posts by උස්තාද් හජ්ජුල් අක්බර්  →