කොවිඩ්-19 වසංගතය මැද මතුවන මුස්ලිම් විරෝධී වසංගතය

රෝගීන් ආදාහනය පමණක් කළ යුතු බව කීම කොවිඞ්-19 ගැන මිථ්‍යාවක්
‘ගහන්න ඕන නේ. ගහන්නත් චාන්ස් එකක් ආවා ඒ කෑල්ලත් අරගෙන. නැත්නම් හරියන්නෑ.’ දෙරණ නාළිකාවේ වැඩසටහන් මෙහෙයවන්නෙකු වන චතුර අල්විස් මුස්ලිම් ජනතාව ගැන එසේ පවසන අන්දම රැගත් වීඩියෝවක් මේ වන විට සමාජ මාධ්‍යවලට එක්ව ඇත. සජීවී වැඩසටහනකදී කැමරාවෙන් තමා සජීවීව විකාශය වන බව නොදැන, චතුර අල්විස් සහ නිෂ්පාදක කණ්ඩායම එකිනෙකා අතර අදහස් හුවමාරු කරගන්නා අවස්ථාවක් එලෙස පටිගත වී තිබුණි.

කොවිඩ්-19 වසංගත තත්වය මැද සමාජ මාධ්‍යවල සහ අන්තර්ජාලයෙහි මුස්ලිම් ආගමික විශ්වාසයන්ට එරෙහි අදහස් මතුව ඇති බව දකින්නට ලැබෙයි. චෝදනා කිරීම්, ඇඟිල්ල දිගු කිරීම් සහ ආගමික විශ්වාසයන්ට අපහාස කරන වෛරී ප‍්‍රකාශ දකින්නට ලැබෙයි.

සියල්ල ඇරඹුණේ ශ‍්‍රී ලංකා මුස්ලිම් කොංග‍්‍රසයේ නායක රවුෆ් හකීම් ෆේස්බුක්හි පළකර තිබුණු අදහසක් නිසාය. මේ වන විට ජාතිවාදය ඇවිස්සීමේ අරමුණෙන් කරන නොසැලකිලිමත් වාර්තාකරණයන් හා වෛරී ප‍්‍රකාශ නිසා ජාතිවාදී වසංගතයත් ඇවිළෙන බව පෙනේ.

මාර්තු 30 වැනිදා මුස්ලිම් ජාතිකයෙකු කොවිඞ්-19 වසංගතය නිසා මරණයට පත්විය. ඔහුගේ පවුලේ උදවියට නොදන්වා සිරුර ආදාහනය කර තිබුණි. මාර්තු 31 වැනිදා රවුෆ් හකීම් මහතා ෆේස්බුක් වෙබ් අඩවියේ සඳහන් කර තිබුණේ මියගිය පුද්ගලයාගේ අවසන් කටයුතු කිරීම සඳහා උත්සාහ ගන්නා අතරතුර පවුලේ උදවියට නොදන්වා ආදාහනය කිරීම අසාධාරණ බවය.

සියල්ලට පෙර අප තේරුම් ගත යුත්තේ වසංගතයක් පැතිර යන අවස්ථාවක් යනු මිනිසුන් මරණය ගැනත්, මරණය හා බැඳුණු තම තමන්ගේ විශ්වාස ගැනත් සංවේදී ලෙස කල්පනා කරන අවස්ථාවක් බවය. මරණ බිය පැතිර යන මොහොතක, තමතමන්ගේ විශ්වාස අනුව කටයුතු කිරීම මුස්ලිම් ජාතිකයන්ට සීමා වූ කාරණයක් නොවේ.

වසංගතයක් පැතිරෙන මොහොතක ඒ වසංගතය පැතිර යෑම වැඩිවන ආකාරයට ආගමික ඇදහීම්ද කළ නොහැක. තම තමන්ගේ ආගමික විශ්වාසයන් දරන අතරතුර විද්‍යාත්මකව, වසංගතය පැතිර යෑමට ගත යුතු පිළිගත් ක‍්‍රියා පිළිවෙත් අනුව කටයුතු කළ යුතුය.

මේ වසංගතය එක් ආගමික කණ්ඩායමක් පසුපස පන්නනවා නොවේ. මුළු ලෝක ප‍්‍රජාවම එකම වසංගතයට මුහුණදෙමින් සිටී. එවැනි මොහොතක අප සියලූදෙනාම එකිනෙකාගේ විශ්වාසයන්ට සංවේදී වෙමින්, එකිනෙකා තේරුම් ගනිමින් එකට වසංගතයට එරෙහිව සටන් කළ යුතු බව අමුතුවෙන් කිව යුතු නැත.

අප කළ යුත්තේ මුස්ලිම් කොංග‍්‍රසයේ නායක රවුෆ් හකීම් කියන්නට උත්සාහ කළේ කුමක්ද කියා තේරුම් ගැනීමට උත්සාහ කිරීමය. තමන් විශ්වාස කළත් නොකළත් තවත් කෙනෙකුගේ විශ්වාසයකට මේ මොහොතේ හැකි උපරිම ගෞරවය දැක්වීමට උත්සාහ කිරීමය.

මුස්ලිම් ආගමික නායකයන්ගේ ප‍්‍රධාන සංවිධානය වන සමස්ත ලංකා මුස්ලිම් වියතුන්ගේ සංගමය (ජමෙයිතුල් උලමා* මේ වසංගතය මැද විද්‍යාව ඉදිරියේ මුලින්ම හිස නැවූ ලාංකික ආගමික සංවිධානයක් නොවන බව බොහෝ අය නොදන්නවා විය හැකිය.

සමස්ත ලංකා මුස්ලිම් වියතුන්ගේ සංගමය මෙම වසංගතය ලංකාවේ පැතිරෙන්නට පටන්ගත් පසු මාර්තු 15 වැනිදා නිවේදනයක් නිකුත් කර තිබුණි.

එයින් නිවේදනය කර තිබුණේ දිවයින පුරා පල්ලිවල කරන සාමූහික නැමදුම් නැවැත්විය යුතු බවයි. පල්ලියෙහි නැමදුම් කිරීම මූලික මුස්ලිම් ඉගැන්වීමකි. එහෙත් ඒ නැමදුම් ඇතුළුව පොදු ස්ථානවල අනෙකුත් සෑම ආගමික එක්රැස්වීම්වලින්ම වැළැක්විය යුතු බව එම සංවිධානය නිවේදනය කර තිබුණේ වසංගතය හමුවේ අඩිය පසුපසට ගනිමින්ය. නිවෙස්වල සිට නැමදුම් කළ යුතු බවත් එහි සඳහන් කර තිබුණි.

එම නිවේදනයේම අවසන් කටයුතු ගැනත් සඳහන් කර තිබුණි. ජනාසාව නැමැති මෘතශරීරයට ඉටු කළ යුතු වගකීම් ආගමික නීතිරීතිවලට අනුව කිරිම මුස්ලිම් ජනතාවගේ වගකීමක් වුව, මේ කාලවකවානුව සැලකිල්ලට ගෙන මෘතශරීරයට ඉටු කළ යුතු ඉතා අත්‍යවශ්‍ය වගකීම් පමණක් ඉටු කළ යුතු බව එම නිවේදනයෙහි සඳහන්ව තිබුණි. මාර්තු 15 වන විට මුස්ලිම් ආගමික නායකයෝ මෙම වසංගත තත්වයට එසේ ප‍්‍රතිචාර දැක්වූහ.

ලංකාවේ බෞද්ධ නායකයන් ඇතුළු අනෙකුත් නායකයන්ද සමස්තයක් ලෙස මෙම තත්වයට යහපත් ප‍්‍රතිචාර දැක්වූ බව කිව හැකිය. එහෙත් මාර්තු 16 වැනිදා ලංකාවේ ප‍්‍රධාන බෞද්ධ ආගමික ස්ථානයක් වන ශ‍්‍රීපාද විහාරස්ථානයේ නායක බෙංගමුවේ ධම්මදින්න හිමි වසංගතය ගැන අසංවේදී ප‍්‍රකාශයක් කර තිබුණි.

වෛරස්වලට බිය නොවී අතීතයේදී මිනිසුන් ශ‍්‍රීපාද ස්ථානය වැඳපුදා ගැනීමට පැමිණියේ ජීවිත පරදුවට තබා බවත්, වන්දනාකරුවන් පැමිණියද නොපැමිණියද ශ‍්‍රීපාද උඩමළුවේ තේවාවන් පවත්වන බව එහිමියන් කියා තිබුණේ ශ‍්‍රී පාද වන්දනා සමය නවත්වන ලෙස ඉල්ලීම් ඉදිරිපත්ව තිබියදීය.

ගේදොර ඉඩකඩම් මිලමුදල් සිය ඥාතීන්ට බාරදී ශ‍්‍රී පාදය වැඳීමට මිනිසුන් ආවේ ආපසු යන්න බලාගෙන නොවන බවත්, එසේ අතීතයේ පැමිණි අය සතුන්ගේ හිරිහැර සිදුවී හා ස්වාභාවික විපත්වලින් මියගිය බවත්, වෛරසයකට බියවූයේ නම් එදා සිට අද දක්වා වන්දනාකරුවන් ශ‍්‍රී පාදස්ථානයට නොපැමිණෙන බවත් තවදුරටත් එහිමියන් කියා තිබුණි.

කතරගම දේවාලයේද ආගමික වතාවත් නවත්වන ලෙස කරන ලද ඉල්ලීම් එම දේවාලයේ පාලනාධිකාරිය ප‍්‍රතික්ෂ්ප කර තිබුණි.

බහුතර ආගමික නායකයන් වසංගත තත්වයෙහි බරපතළකම දැන කටයුතු කරන විට, ඇතැම් ආගමික නායකයන් එය නොතකා කටයුතු කළ අවස්ථා දෙකකට මේවා උදාහරණ වේ. ඉහත කී ශ‍්‍රීපාද විහාරස්ථානාධිපති හිමියන්ගේ ප‍්‍රකාශයට එරෙහිව ලංකාවේ මාධ්‍ය ආයතන අවි අමෝරාගත්තේ නැති බවත් අප සිහි තබාගත යුතුය.

කෙසේ වෙතත් මාර්තු 23 වැනිදා හමුවූ රෝගියෙකු රෝගය වැළඳී සිටියදී මාර්තු 20 වැනිදා කොළඹ කොටුව රතු පල්ලියේ දේව මෙහෙයකට සහභාගි වූ බව අද දෙරණ ඇතුළු මාධ්‍ය ව්‍යාජ පුවතක් වාර්තා කර තිබුණි. ඒ පුවත දුටු අනෙකුත් ආගමික කණ්ඩායම් සිතන්නට ඇත්තේ ප‍්‍රධාන මුස්ලිම් පල්ලියක් පවතින තත්වය නොසලකා යාඥා පැවැත්වූ බවය. එහෙත් එය ව්‍යාජ පුවතක් වූ අතර මාර්තු 20 වැනිදා රතු පල්ලියේ දේව මෙහෙයක් පවත්වා තිබුණේ නැත. මාර්තු 15 වැනිදා වන විට වංසගතය වර්ධනය වූ අතර, රතු පල්ලිය ඇතුළු රටේ ප‍්‍රධාන ඉස්ලාම් පල්ලි ගණනාවක් දේව මෙහෙය නැවැත්වීය. පසුව ශ‍්‍රී ලංකා මුස්ලිම් කොංග‍්‍රසය දෙරණ නාළිකාවේ ව්‍යාජ ප‍්‍රවෘත්තිය ගැන නිවැරදි කිරීමක් එවා තිබුණි. කෙසේ වෙතත් තම ව්‍යාජ ප‍්‍රවෘත්තිය ගැන සමාව ඉල්ලීමක් දෙරණ නාළිකාව කර තිබුණේ නැත. ඒ වෙනුවට පෙර කී රෝගියා රතු පල්ලියේ යාඥාවට සහභාගි වුණේ මාර්තු 13 වැනිදා බව සඳහන් පුවතක් පළ කර තිබුණි. ඒ අනුව ඔහු රතු පල්ලියේ යාඥාවට ගොස් තිබුණේ රෝග ලක්ෂණ මතුවීමට දින ගණනාවකට පෙරය. රතු පල්ලියේ යාඥා පවත්වා තිබුණේත් වසංගත අවදානම තදබල ලෙස මතුවීමට පෙරය.

පොදුවේ ආගමික කණ්ඩායම් තමන්ගේ සීමාව දැන නිහ`ඩ වන විට, සුළුතරයක් එසේ නොවූ අවස්ථාද තිබුණි. තත්වය නොසලකා සිදුකළ ආගමික වැඩසටහන් කිහිපයක්ම දකින්නට ලැබුණි. කෙසේ වෙතත් අපගේ මූලික අවධානය පොදුවේ යම් ආගමික කණ්ඩායමක් වගකීම් විරහිත ලෙස කටයුතු කළාද කියා සොයා බැලීමය.

රවුෆ් හකීම් මහතාගේ ෆේස්බුක් පෝස්ටුවට පෙර, මාර්තු 27 වැනිදා සමස්ත ලංකා ඉස්ලාම් වියතුන්ගේ සංගමය තවත් නිවේදනයක් පළකර තිබුණි. එයින්, මෙම කාලසීමාව තුළ යම් පුද්ගලයෙකු මරණයට පත් වුවහොත් කටයුතු කළ යුතු ආකාරය පිළිබඳව විශේෂයෙන් සඳහන් කර තිබුණි. මෙසමයේ මරණයකදී සිදුකළ යුතු ආගමික වතාවත් සඳහා විශාල වශයෙන් පිරිස් එක්රැස් වීම නොකළ යුතු බවත්, පොලීසියට මරණය ගැන දැන්විය යුතු බවත්, අත්‍යවශ්‍ය පුද්ගලයන්ගේ සහභාගිත්වයෙන් අවසන් කටයුතු කළ යුතු බවත් එහි දක්වා තිබුණි.

ඊටත් පසු මාර්තු 31 වැනිදා එම සංවිධානය කොවිඞ්-19 ආසාදනයෙන් මරණයට පත්වූ කෙනෙකුගේ අවසන් කටයුතු කළ යුතු ආකාරය පිළිබඳව නැවත නිර්දේශ නිකුත් කර ඇත.

සාමාන්‍යයෙන් මුස්ලිම්වරයෙකු අභාවයට පත් වූ විට එම දේහය ස්නානය කරවීම, කෆන් නම් සුදු රෙද්දක් ඇන්දවීම, ජනාසා සලාතය ඉටු කර භුමිදාන කිරීම හෙවත් වළලා දැමීම කළ යුතු බව එහි සඳහන්ය. එහෙත් කොවිඞ්-19 වසංගතයට අදාළව එම සංවිධානයේ මතය මෙසේය.

‘කොරෝනා වයිරසය නිසා මරණයට පත් වු දේහයකින් අන් අයට වයිරසය පැතිරීමට ඉඩකඩ ඇති හෙයින් මල්ලක බහා වසාදමනු අතර එම දේහය ස්නානය කරවීමට හා කෆන් කිරීමට අවස්ථාවක් නොලැබෙනු ඇත.

මෙවන් තත්ත්වයකදී ඉහත පවසන ලද දෙවන මතයට අනුව කොරෝනා වයිරසය නිසා මරණයට පත් වු දේහයක් ස්නානය කරවීමට නොහැකි වුවද එම දේහය වෙනුවෙන් ජනාසා සලාතය ඉටු කර භූමිදානය කළ යුතුය.

කොරෝනා කොවිඞ් 19 ආසාදනය හේතුවෙන් මරණයට පත් වූ අයෙකුගේ අවසන් කටයුතු සම්බන්ධව රජය ප‍්‍රකාශයක් නිකුත් කොට ඇත.

එහිදී, මරණයට පත් වූ දේහය ස්නානය කරවිය නොහැක, දේහය ආදාහනය කළ යුතුයි. දේහය භුමිදාන කරන්නේ නම් වළ අඩි 6 කට ගැඹුරු විය යුතුයි. රාජ්‍ය බලධාරීන් ඉදිරිපිට භූමිදාන කටයුතු විය යුතුයි. ඉතා සමීප ඥාතීන් කීහිපයකට පමණක් ඒ සඳහා සහභාගි වීමට අනුමැතිය දිය යුතුයි. භූමිදාන කටයුතු සුවිශේෂ අදාළ ස්ථානයක විය යුතුයි. යනාදි උපදෙස් පනවා ඇත.

දේහය ස්නානය කරවීමට හා තයම්මුම් කරවීමට නොහැකි හෙයින් රාජ්‍ය බලධාරීන්ගේ උපදෙස් මත බොහෝ පිරිසක් එක්රැුස් නොවී ප‍්‍රධාන කිහිපදෙනෙකු පමණක් සහභාගි වී ජනාසා සලාතය හා භූමිදාන කටයුතු ඉටුකළ යුතුයි. සෙසු අය මෙවන් දුෂ්කර අවස්ථාවකදී ගායිබ් ජනාසා සලාතය ඉටුකිරීමට ඉස්ලාමයට අනුව අනුමැතිය ඇත.’

මාර්තු 31 වැනිදා රවුෆ් හකීම් මහතාගේ ප‍්‍රකාශය ෆේස්බුක් වෙබ් අඩවියෙහි පළවී ඇත්තේ ඉන් පසුවය. මියගිය පුද්ගලයාගේ අවසන් කටයුතුවලදී ලෝක සෞඛ්‍ය සංවිධානය හෝ ශ‍්‍රී ලංකාවේ රජය ලබාදී ඇති උපදෙස්වලට පිටින් කටයුතු කළ යුතු බව ඔහුගේ ප‍්‍රකාශයෙහි කිසිදු තැනක සඳහන් වන්නේ නැත. ඔහු එම නිවේදනයේදී මියගිය පුද්ගලයාගේ පවුලේ අයට නොදන්වා දේහය ආදාහනය කිරීම ගැන විරෝධය දක්වා තිබුණි. දේහය නිසි උපදෙස් අනුව වළදැමීමට අවශ්‍ය ක‍්‍රියාමාර්ග ගැනීමේ හැකියාව තිබියදී ආදාහනය කිරීම ඔහුගේ එම සටහනට හේතු වී ඇති බව පෙනෙන්නට තිබුණි.

පසුව තැබූ ෆේස්බුක් සටහනක ඔහු මෙසේ කියා තිබුණි.

‘සාමාන්‍ය ආකාරයෙන් චාරිත‍්‍ර ඉටු කිරීමට මෙය සාමාන්‍ය අවස්ථාවක් නොවේ. අප එය නොදන්නවා ද නොවේ. අප ජාතියේ ප‍්‍රධාන නියෝජිතයෙකු ලෙස ඊයේ එය එසේ වීමට හේතුව මට පැහැදිලි කිරීමට අවශ්‍ය විය. නමුත් එය බොහෝ දෙනෙක් වරදවා වටහා ගෙන තිබුණි. සැබැවින්ම මෙතන ප‍්‍රශ්නය ඇතිවූයේ ආදාහනය කිරීම හෝ භූමදානය කිරීම පිළිබඳව නොවේ.

භූමදානය කිරීම ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් නිකුත් කළ නීතිරීතිවලට හෝ සෞඛ්‍ය අමාත්‍යංශයෙන් නිකුත් කළ චක‍්‍රලේඛවලට අනුකූල නොවන්නේ ද නොවේ. ඒ බව අප දන්වා සිටි විට සෞඛ්‍ය බලධාරීහු මීගමුවේදි භූමිදානය කිරීම නොකළ හැකි බවට සහේතුක හා සාධාරණ කරුණු ඉදිරිපත් කළ අතර, මාලිගාවත්ත වෙත ගෙන ඒමට අපගේ ඉල්ලීම සහේතුකව ප‍්‍රතික්ෂේප කරන ලදි.

සිදු වූ දේ පැහැදිලි කිරීමේ දී මට ඇති අයිතිය හා සමාන අයිතියක්, කියූ දේ නොව හිතේ ඇති දේ හෝ තම තමන් වටහා ගත් දේ ද්වේෂ සහගතව ප‍්‍රචාරය කරන ඔබට ද ඇත.’

මිථ්‍යාව යනු විද්‍යාත්මක පදනමක් නැති අදහස් ලෙස සැලකුවහොත් බොහෝ ආගමික ඉගැන්වීම් මිථ්‍යාව ලෙස සලකන්නට සිදුවෙන බව ඇත්තය. එහෙත් මිථ්‍යා අදහස් සමාජගත කරන්නේ ආගම පමණක් නොවේ. ඇතැම් විටෙක විද්‍යාත්මක අදහස් ලෙස මිථ්‍යාව පැතිර යා හැකිය.

ලෝකය පුරා වසංගතයක් පැතිර ගොස් තිබෙන වෙලාවක මිථ්‍යාව පසෙකින් තබා අප විද්‍යාව අනුව කල්පනා කළ යුතු බව පැහැදිලිය. එහෙත් ඇතැම් ආගමික විශ්වාස තවෙකෙකුට හානියක් නොවෙන තාක් කල්, රෝගය පැතිර යෑමට හේතුවක් නොවෙන තාක් කල් ඒ ආගමික විශ්වාස අනුව කටයුතු කළ හැකිය. මුස්ලිම් අය දේහය ආදාහනය නොකළ යුතු බව කියනවා නම්, සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිර්දේශ අනුව වළ දැමීම කළ හැකිය. ලෝකයේ රටවල් ගණනාවක අත්‍යවශ්‍ය පුද්ගලයන්ගේ සහභාගිත්වයෙන් එලෙස අවසන් කටයුතු කරන අන්දම ජාත්‍යන්තර මාධ්‍යවල වාර්තා කර ඇත. ඉස්ලාම් බහුතරයක් සිටින ඉරානය වැනි රටවල් ඒ සඳහා නිර්දේශ පවා නිකුත් කර ඇත. ඒ නිසා මරණයට අදාළ ඉස්ලාම් භක්තිකයෙකුගේ සංවේදී විශ්වාසයක් ඉටු කිරීම අසීරු කටයුත්තක් නොවේ. එහෙත් ඇතැම් පුද්ගලයෝමේ මොහොතේ ආදාහන කටයුතු කළ යුතුම බව විශ්වාස කරති. එය මිථ්‍යා විශ්වාසයකි.

පසුගිය කාලසීමාවේ ඇඳිරි නීතිය ඉවත් කරන අවස්ථාවලදී පිටතට පැමිණෙන බොහෝ අය මුඛවාඩම් පැළඳ සිටින බව දකින්නට ලැබුණි. ලෝක සෞඛ්‍ය සංවිධානය මෙන්ම ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යාංශයද කියා තිබුණේ මෙම වසංගතය පැතිරීම වැළැක්වීමට මුඛවාඩම් පැළඳීම අත්‍යවශ්‍ය නොවන බවය.

ලොව ප‍්‍රකට විශේෂඥයන් අදහස් දක්වා තිබුණේ දැනට නිෂ්පාදනය කර වෙළඳපොලේ ඇති මුඛවාඩම් රෝගීන්ට හා සෞඛ්‍ය සේවකයන්ට ඉතිරි කරන ලෙසය. රෝගය නොමැති අය ඒවා මිලදී නොගන්නා ලෙසය.

එසේ තිබියදී මේ මොහොතේ පිටතට යන අයෙකු මුඛවාඩම් පැළඳීම අනිවාර්ය බව යමෙකු විශ්වාස කරනවානම්, මුඛවාඩම් පැළඳීමෙන් පසු තමන් කුමක් කළත් වෛරසය තමන්ගේ ශරීරයට නොඑන බව යමෙක් විශ්වාස කළොත් එය වසංගතයට අදාළ මිථ්‍යා විශ්වාසයකි. ඇතැම් අය මුඛවාඩම් පැළඳ පිටට ගියත්, වසංගතයෙන් ආරක්ෂා වීමට අවශ්‍ය වෙනත් උපදෙස් පිළිපදින්නේ නැති අවස්ථාද තිබුණි.

එලෙස මුඛවාඩම් ගැන අන්ධ විශ්වාසයෙන් සිටින කෙනෙකු තවත් අයට මුඛවාඩම් පළඳින්න යැයි බල කරනවා නම් එය යම් කෙනෙකුගේ මිථ්‍යා විශ්වාසයක් අනුන් මත පැටවීමකි. අහිංසක ආගමික විශ්වාසයකට වඩා මුඛවාඩම් ගැන මිථ්‍යා විශ්වාස මේ මොහොතේ භයානකය.

පිළිගත් විද්‍යාත්මක කරුණුවලට ඉඩ දිය යුතු බව ඇත්තය. එහෙත් විද්‍යාත්මක පෙනුමක් ඇති මිථ්‍යා මතවලට තටු ලබා නොදිය යුතුය. සියලූ දේහයක් ආදාහනය කළ යුතුම බව සිතනවා නම්, සියල්ලන් මුඛවාඩම් දැමිය යුතුම බව සිතීම විද්‍යාත්මකව තහවුරු නොවූ, මිථ්‍යාව ලෙස සැලකිය හැකි කරුණක් අනුන් මත පැටවීමකි. මේ මොහොතේ ආගමික මිථ්‍යාව මෙන්ම, විද්‍යාත්මක පෙනුමක් ඇති මිථ්‍යා අදහස්ද එක සේ භයානකය.

~ උපුටා ගැනීම : තරිඳු උඩුවරගෙදර, අනිද්දා පුවත්පත

Avatar

About තරිඳු උඩුවරගෙදර, අනිද්දා

View all posts by තරිඳු උඩුවරගෙදර, අනිද්දා →