ඉස්ලාමිකයෙකු මියගිය විට ආදාහනය නොකොට මිහිදන් කරන්නේ ඇයි?

ආදාහනය ඉස්ලාමීය ඉගැන්වීම් අනුව අනුමත පිළිවෙතක් නොවේ. ඉස්ලාමීය පිළිවෙත වන්නේ මිහිදන් කිරීමයි.

මිනිස් ශරීරයේ අඩංගු සියළුම රසායානික ද්රව්ය අඩු වැඩි ප්රමාණයන්ගෙන් පොළොවේ පාෂාණ සංයුතියේ අන්තර්ගතය. මිනිස් ශරීරය වියෝජනය වී එම පාෂාණ සංයුතියට එකතුවීම ඉතා පහසුවෙන් සිදුවේ.

ආදාහනය කිරීම තුළින් සිදුවන වායුගෝලීය දුෂණය පරිසරයට මෙන්ම සෞඛ්යට හානිකරය. මිහිදන් කිරීම තුළින් මෙවැනි හානිකර දෑ සිදුවීමට ඉඩකඩ නොමැත.

ආදාහන කටයුතු බොහෝ විට දෙආකාරයකින් සිදු කරනු දැකිය හැක. ආදාහනාගාරයක මෙන්ම විශාල ආදාහන චිතකයක් සාදා මෙය කරනු ලැබේ. ආදාහන චිතකය සඳහා දැව විශාල ප්රමාණයක් යොදා ගැනීමට සිදුවේ. මෙය ඉතා විශාල වියදමක් දරා කළ යුතුව ඇත. මේ සඳහා යොදා ගන්නා දැව සඳහා ගස් කැපීමක් සිදුකළ යුතුව ඇති හෙයින් මෙයින් ද පරිසර හානියකට මුලපුරනු ලැබේ. මිහිදන් කිරීම මගින් මෙම හානිකර අතුරු ඵල සියල්ල මඟ හරවා ගත හැක. මිහිදන් කිරීම පසේ සශ්රීකත්වයට ද උපකාරී වෙයි.

ඉස්ලාමීය ඉගැන්වීම් අනුව මිහිදන් කළ ස්ථානය මත කිසිවක් ගොඩනැඟීම අනුමත නොවන හෙයින් එකම භුමි ප්රයමාණය තුළ කාලය අනුව නැවත නැවත මිහිදන් කටයුතු කළ හැකිය.

විෂබීජ මගින් බෝවන රෝගයක් වැළඳී යමෙක් මියගිය විට එම මෘත දේහය මිහිදන් කිරීම සඳහා ගැඹුරු එනම් අඩි අටකට වඩා ගැඹුරු මිනී වලක් කැපිය යුතු වෙයි. මෙය ජාත්යාන්තරව පිළිගැනීමක් ඇති ප්රමිතියයි. මේ මගින් එම මෘත දේහයේ ඇති විෂබීජ අනෙකුත් ජනයාට පැතිරී යෑම වැළකෙයි. එයට අමතරව සම්පුර්ණ සෞඛ්ය ආරක්ෂිගත ක්රමවෙදයක් අනුගමනය කළ යුතුව ඇත. මෘත දේහය විෂබීජ පිටතට යා නොහැකි ආකාරයේ උරයක (BODY BAG) බහා මිහිදන් කිරීම වඩාත් සුදුසුය.

අවමඟුලක් සිදු වූ විට අනුගමනය කළ යුතු පොදු ඉස්ලාමේය පිළිවෙත පහතින් දක්වා ඇත්තෙමු.
මරණය ශෝක ජනක සිදුවීමක් ලෙස දක්වා ඇතිමුත් එම ශෝකය සඳහා ද සීමාවන් ඉස්ලාමීය ඉගැන්වීමෙහි අන්තර්ගතය. හිසකෙස් කඩා දමමින්, ලතෝනි දෙමින් හඬා වැළපීම ඉස්ලාමය අනුමත නොකරයි. පොදුවේ ශෝකය සඳහා දින තුනක කාලයක් ලබා දී ඇත. ස්වාමි පුරුෂයා අහිමි වූ බිරිඳක් වෙනුවෙන් මෙම කාලය දීර්ඝ කොට ඇත. තම ස්වාමි පුරුෂයා අහිමි වූ ස්ත්රියක් පත් වන්නේ ඉතාම අසරණ හා මානසික වශයෙන් බිඳ වැටුණු තත්ත්වයකට. මෙම තත්ත්වයෙන් මිදී ප්රකෘති තත්ත්වයට පත් වීමට ඇයට කාලය අවශ්ය වෙයි. අය ගැබ් ගෙන ඇති දැයි දැනගැනීමට ද කාලය අවශ්ය වෙයි. මේ නිසා ඇයට චන්ද්ර මාස හතරක් හා දින දහයක ශෝක කාලයක් ලබා දී ඇත. මෙම කාලය තුළ අඳුරු කාමරයක ජීවත් වීමට සලසා ඇතැයි ඇති මතයන් සම්පුර්ණයෙන් ම අසත්යයකි. රැකියා කරන ස්ත්රියක් නම් රැකියාවට යෑමට හා අසනීප සඳහා ප්රතිකාර ගැනීමට යෑම වැනි අත්යාවශ්ය කරුණු සඳහා ඇයට අවස්ථා ඇත. මෙම කාලය තුළ විවාහ යෝජනා පිළිබඳ සාකච්ඡා කරනු නොලැබේ.

මරණයක් සිදුවුවායින් පසු කළ යුතු කාර්යයන් පහතින් දක්වා ඇත.

  • ප්රාණය සම්පුර්ණයෙන් නිරුද්ර වූ බව දැනගැනීමෙන් පසු දෑස වැසීම
  • මියගිය අයගේ නය හා අනෙකුත් පොරොන්දු ඉටු කිරීමට සමීප ඥාතීන් වගකීම් භාර ගනී.
  • ඉස්ලාමීය පිළිවෙත් අනුව මෘතදේහය නෑවීම සිදු කරනු ලැබේ.
  • මෘතදේහය සඳහා සකස් කරන ඇඳුම ‘කෆන්’ නමින් හැඳින් වේ. මේ සඳහා මිල අධික නැති සුදු රෙදි භාවිතා කිරීම සම්ප්රදාය වේ.
  • මෘතදේහය සඳහා විශේෂිත මිනී පෙට්ටියක් නොමැත. සැමට ඇත්තේ එක් පොදු මිනී පෙට්ටියකි. මෙහි තබා මෘතදේහය මස්ජිදයට හෝ පොදු ස්ථානයකට රැගෙන යාමෙන් පසු ‘සලාතුල් ජනාසා’ නමින් හැඳින්වෙන මෘත දේහය සඳහා වූ සලාතය සාමුහික ව ඉටු කරනු ලැබේ.
  • මෙම සලාතයෙන් පසු මෘතදේහය මිහිදන් කිරීම සඳහා සුසාන භුමිය කරා ගෙන ගොස් ඉස්ලාමීය පිළිවෙතට සකස් කළ මිනී වලෙහි දේහය තැන්පත් කොට එය වසා දැමීම සිදු කරනු ලැබේ. එම මිනීවල මත ගොඩනැඟීම් කිසිවක් කිරීම තහනම් වේ.
  • ඉහත සියලු කටයුතු හැකි පමණ ඉක්මණින් අවසන් කිරීම ඉස්ලාමීය සම්ප්රදායයි. නිවසෙහි දින ගණන් මෘත දේහය තබා ගැනීම සිදු කරනු නොලැබේ. මෘතදේහය කල් තබා ගැනීමේ ක්රමයන් අනුගමනය කරමින් කටයුතු කරනු නොලැබේ.
  • ඉහත කරුණු හැරෙන්නට මරණයෙන් පසු තුන්වැනි දින, මාසයකදී, දින හතලිහෙදී වැනි කාල නිර්ණායකයන් තුළ කිසිදු කටයුත්තක් කිරීම ඉස්ලාමීය සම්ප්රදාය නොවේ.

උපුටා ගැනීම: එම්. දහ්ලාන් පිටුවෙනි

Avatar

About එම්. දහ්ලාන් පිටුවෙනි

View all posts by එම්. දහ්ලාන් පිටුවෙනි →