ලංකාවේ සිදුවන වනාන්තර විනාශය විශාල දේශගුණ විපර්යාසවලට හේතු වේ

ලෝකය පුරා වනාන්තර බොහොමයක් පසුගිය කාලය තුළ ගිනි ගැනීම් සහ ගිනි තැබීම් වලට ගොදුරු විය. මේ හේතුවෙන් ජෛව විවිධත්වයට බරපතළ හානියක් සිදුවූ අතර, සාමාන්‍ය ජනජීවිත වලටද එහි බලපෑම් එල්ලවිය. ලංකාවේද වනාන්තර විනාශය නිරන්තරයෙන්ම සිදුවන බැවින් එහි බලපෑම සම්බන්ධයෙන් පරිසර හා සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානයේ සම්බන්ධීකාරක ආචාර්ය රවීන්ද්‍ර කාරියවසම් මහතා සමග සාකච්ඡා කළෙමු.

පසුගිය වසරේදී ලෝකය පුරා වනාන්තර කිහිපයකට හානි සිදුවුණා. එහි බලපෑම කෙසේ වේවිද?

ලෝකයේ වැසි වනාන්තරවලට බරපතළ ඛේදවාචකයක් එල්ලවුණ අවුරුද්දක් විදිහට පහුගිය අවුරුද්ද හඳුන්වන්න පුළුවන්. ඒකට හේතුව පසුගිය අවුරුද්දේ මාස ගණනාවක් බ්‍රසීලය, පේරු රටවල් ආශ්‍රිතව තිබෙන ඇමසන් වනාන්තරය ගිනිගත්තා. ඇමසන් කියන්නේ වසර බිලියන 16ක් විතර පැරණි වනාන්තරයක්. එහි සැලකිය යුතු ප්‍රදේශයක් විනාශ වුණා.
ඉන්පසුව මැයි – ජුනි කාලය වෙද්දි අප්‍රිකාවේ වැසි වනාන්තර ගිනිගැනීමක් සිදුවුණා. පසුගිය වසර අවසානයේදී ඔස්ට්‍රේලියාවේ වැසි වනාන්තර විනාශ වීමක් සිදුවුණා. ලෝකයේ වනාන්තර ගිනි ගැනීම් සහ ගිනි තැබීම් හේතුවෙන් වැසි වනාන්තර ඇතුළු වනාන්තර 40%ක් පසුගිය වසරේදී විනාශ වෙලා තිබෙනවා. ඒ කියන්නේ 60%ක වනාන්තර ප්‍රමාණයක් තමයි දැන් ලෝකයේ ඉතුරුවෙලා තිබෙන්නේ.

වනාන්තර වලින් 40%ක් විනාශ වීම බරපතළ තත්ත්වයක්. එය ලෝකයට බලපාන්නේ කෙසේද?

ඔස්ට්‍රේලියාවේ වනාන්තර විනාශය ගැන පර්ත් විශ්වවිද්‍යාලය මගින් පර්යේෂණයක් කළා. එයට අනුව ඔස්ට්‍රේලියාවේ ගිනි ගැනීම් නිසා මිලියන 480ක සත්ත්ව ගහනයක් ලෝකයට අහිමි වෙලා තිබෙන බව සොයා ගත්තා. මේ අනුව පහුගිය අවුරුද්ද, වනාන්තරවලට වගේම සත්තුන්ටත් බරපතළ හානි සිදුකරපු අවුරුද්දක් කියලා කියන්න පුළුවන්.
වනාන්තර ගිනි ගැනීම නිසා ගෝලීය උෂ්ණත්වය ඉහළ යමින් දේශගුණික විපර්යාස ඇති වෙමින් තිබෙනවා. ඒ නිසාම ධ්‍රැව ආසන්නයේ අයිස් කඳු දියවෙන්න පටන් අරගෙන තිබෙනවා. මේ විපර්යාස නිසා මේ වසරේ යුරෝපයට ශීත සෘතුව අහිමි වී තිබෙනවා. 2019 වසරේදී යුරෝපයේ වැඩිම උෂ්ණත්වය වාර්තා වෙනවා. යුරෝපයේ ජනතාව කියන විදිහට එවැනි උෂ්ණත්වයක් වාර්තා වී තිබෙන්නේ වසර 400කට පමණ පසුව. මේ නිසා අයිස් මිදීම අඩුවෙලා, අයිස් දියවීම වැඩිවෙලා තිබෙනවා. මේ තත්ත්වය නිසා යුරෝපා රටවල් දැඩි අර්බුදයකට ගිහින් තිබෙනවා. ඔවුන්ට මාස 06ක වගා කන්නයක් තිබෙන්නේ. අයිස් මිදුණු කාලයට වගා කරන්න බැහැ. ඒ කාලයේදී ඔවුන් ජලය එක්රැස් කරගැනීම කරනවා. නමුත් මේ තත්ත්වය වෙනස් වීමෙන් ඔවුන් දැඩි අර්බුදයකට ලක්වෙලා සිටිනවා.

ඒ වගේම වනාන්තර විනාශය නිසා ජෛව විවිධත්වය විනාශ වෙනවා. සත්තු, ශාකවලට එයින් හානියක් වෙනවා. ඒ වගේම ආහාරදාමය විනාශ වෙලා තිබෙනවා. ඒ සියල්ල අමතක කළත් මිනිස්සුන්ට හුස්ම ගන්නට තිබෙන පිරිසුදු වාතය අහිමි වෙමින් තිබෙනවා.

ශ්‍රී ලංකාවේ වන විනාශය සහ පවතින වන ගහනය ගැන කතා කළොත්?

සාමාන්‍යයෙන් එක් පුද්ගලයෙක් දිනකට අසූ වාරයක් පමණ හුස්ම ගැනීම සිදුකරනවා. හුස්ම ගන්න සෑම වාරයක් පාසාම කාබන්ඩයොක්සයිඩ් වාතයට නිකුත් කරනවා. ලංකාවේ බිලියන 02ක ජනතාවක් ජීවත් වෙනවා. ලෝකය පුරාම සිටින බිලියන ගණනක් ජනතාව පිටකරන කාබන්ඩයොක්සයිඩ් ප්‍රමාණය වාහන වලින් පිටකරන කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණයට සමානයි. මේ කාබන්ඩයොක්සයිඩ් අවශෝෂණය කරගන්නට අවම වශයෙන් 24%ක වනාන්තර ප්‍රමාණයක් ලෝකයේ තිබෙන්නට අවශ්‍යයි කියලා ගණන් බලා තිබෙනවා. එහෙම උනත් ලංකාවේ දැනට තිබෙන වනාන්තර ප්‍රමාණය 16%ටත් අඩුයි. 1882දී 82%ක් තිබුණ වනාන්තර ප්‍රතිශතය 2019 වන විට 16෴ට අඩුවෙලා තිබෙනවා. ඒ වගේම ශ්‍රී ලංකාව 2010 වසරේදී ලෝකයේ වනාන්තර විනාශ කරන රටවල් අතර 04 වන ස්ථානයට පත්වුණා. ආහාර සහ කෘෂිකර්ම සංවිධානය රටවල්වල වනාන්තරවල තත්ත්වය සම්බන්ධයෙන් සිදුකළ වාර්තාවේ ඒ බව දැක්වෙනවා. ඒ වගේම ගෞතම්බර්ග් විශ්වවිද්‍යාලය විසින් පර්යේෂණයක් කරමින් එය ස්ථිර කර තිබෙනවා.

දූපතක් ලෙස ශ්‍රී ලංකාවේ වනාන්තර ප්‍රතිශතය අවම වශයෙන් 24%ක් දක්වා වැඩි කර ගත්තේ නැතිනම් ලංකාව ඉතා විශාල දේශගුණික විපර්යාසවලට ලක්වන රටක් වේවි. උදාහරණයක් විදිහට මේ වනවිට යල මහ කන්නවල වර්ෂා රටාව වෙනස් වී තිබෙනවා. කොළඹ නගරයේ උෂ්ණත්වය ඉහළ ගිහින් තිබෙනවා. වාතය දූෂණය වෙලා තිබෙනවා. ඒ වගේම ඉන්දියාවේ මහරාශ්ට වැනි ප්‍රාන්තවල දැවැන්ත වශයෙන් වනාන්තර ගිනිතැබීම සිදුකරනවා. ලංකාවේ බෙරගල, සොරගුණේ වැනි වනාන්තර ප්‍රදේශ, බදුල්ල දිස්ත්‍රික්කයේ කඳු පන්ති නිරන්තරයෙන්ම ගිනි ගැනීම්වලට ලක්වෙනවා. වනාන්තර ගිනි තැබීම් සහ ගිනි ගැනීම් ලෝක මට්ටමෙන් මෙන්ම දේශීය මට්ටමෙන්ද අපි වළක්වාගන්නට කටයුතු කරන්න අවශ්‍යයි.

සිංහරාජය ඇතුළු ලංකාවේ වනාන්තර කිහිපයකට විවිධ බලපෑම් එල්ලවී තිබෙනවා. ශ්‍රී පාද සමය තුළ ශ්‍රී පාදය ආශ්‍රිත වනාන්තර පද්ධතියට එල්ලවන බලපෑම පිළිබඳවත් අවධානය යොමු කළ යුතු වෙනවා නේද? මේ සම්බන්ධයෙන් කතා කළොත්?

බෞද්ධ, හින්දු, ඉස්ලාම්, ක්‍රිස්තියානි මේ සැවොම ශ්‍රී පාදස්ථානය පූජනීය ස්ථානයක් ලෙස සලකනවා. මේ අනුව ශ්‍රී පාද සමයට බිලියන 02ක් පමණ විවිධ ආගමික භක්තිකයෝ පැමිණෙනවා. මේ අයගෙන් එක්කෙනෙක් එක ප්ලාස්ටික් බෝතලයක් ශ්‍රී පාදස්ථානයේ විසි කළොත් මාස 06ක කාලය තුළදී ප්ලාස්ටික් බෝතල් මිලියන 02ක් ඉතුරු වෙනවා. සාමාන්‍යයෙන් මිනිස්සු ශ්‍රී පාද කන්ද නගිද්දි වතුර බෝතල් 03ක් වත් පාවිච්චි කරනවා. මිනිස්සු ඒවා ආපසු අරගෙන එන්නේ නැහැ. එතැනම දාල එනවා.

2001 වසරේ සිට 2009 වනතුරු අපි ශ්‍රී පාදය පිරිසුදු කිරීම් සිදුකළා. එය පර්යේෂණ මට්ටමින් අපි සිදුකළේ. ඒ කාලය තුළදී 1982 වැනි වසරවල නිෂ්පාදනය කරපු බිස්කට් කවර අපිට හමුවුණා. මේ විදිහට එකතුවන ප්ලාස්ටික්, පොලිතින් දීර්ඝ කාලයක් යනතුරු දිරන්නේ නැති බව අපිට එතැනින් පැහැදිලි වෙනවා. ප්ලාස්ටික්, පොලිතින් ගැන පර්යේෂණ කරන ආයතන ලෝකයේ තිබෙනවා. එම ආයතන කියන විදිහට ප්ලාස්ටික් බෝතලයක් දිරන්න අවුරුදු 400කට වඩා වැඩි කාලයක් ගතවෙනවා. අපි ශ්‍රී පාදය වැඳලා පිනක් කරගන්නවාට වඩා ප්ලාස්ටික් විසිකරලා වසර 400ක් තුළ ඉදිරි පරම්පරා හතරක් වෙනුවෙන් ලොකු විනාශයක් තමයි ඉතුරු කරන්නේ. දැන් තිබෙන තත්ත්වය අනුව ශ්‍රී පාදයේ උඩමළුව, නල්ලතන්නිය, එරත්න පාරේ බොහෝ තැන්, සීත ගඟුල ආදී බොහෝ ස්ථාන ප්ලාස්ටික් නිසා විනාශ වෙලා තිබෙන්නේ. ශ්‍රී පාදයට යන මාර්ගය දෙපස තිබෙන පොලිතින්, ප්ලාස්ටික් ආදිය ස්වේච්ඡා සංවිධානවලින් ඉවත් කරනවා. නමුත් හෙල්වලට විසිකරන පොලිතින්, ප්ලාස්ටික් කිසිම හේතුවකින් නැවත ගන්න හැකියාවක් නැහැ. ඒ නිසා මේ ප්ලාස්ටික් ශ්‍රී පාදයෙන් ආරම්භ වන මහවැලි, කැලණි, කළු, වලවේ කියන ගංගාවල ක්ෂද්‍ර ප්ලාස්ටික් (මයික්‍රෝ ප්ලාස්ටික්) අංශු විදිහට මුළු ලංකාව පුරාම ගලාගෙන යමින් තිබෙනවා. එම ගංගාවල ආරම්භයේදීම මයික්‍රෝ ප්ලාස්ටික් එකතුවෙලා තිබෙන නිසා මයික්‍රෝ ප්ලාස්ටික් සහිත ජලය පානය කරන මිනිස්සුන්ට බරපතළ හානියක් වෙනවා. ඒ වගේම ප්ලාස්ටික් බෝතලයක් වැටුණු තැනක ඉර එළිය ලැබෙන්නේ නැහැ. ඒ නිසා එවැනි තැනක යළි ශාකයක් හැදෙන්නේ නැහැ. එහෙම උනොත් මේ නිසා ආවේණික ශාක සතුන් විශාල ප්‍රමාණයක් විනාශ වෙන්නට හේතුවක් වෙනවා. ප්ලාස්ටික්, පොලිතින්වලට ඉර එළිය අවශෝෂණය කරගන්නවා. ඒ කියන්නේ ශ්‍රී පාද කඳුවැටියට විසිකරන මෙම පොලිතින්, ප්ලාස්ටික් තොගයෙන් වසරින් වසර උෂ්ණත්වය ඉහළ යනවා. එලෙස ක්‍රමයෙන් උෂ්ණත්වය ඉහළ යාමයේදී එම ප්‍රදේශයට ආවේණික සත්ත්ව, ශාක විනාශ වෙනවා. මේ නිසා ශ්‍රී පාදය තුළ පමණක් නොවේ ලංකාව තුළම ප්ලාස්ටික් පොලිතින් කියන දේ දැඩි අර්බුදයක් බවට පත්වෙලා තිබෙනවා.

ශ්‍රී ලංකාව තුළ පොලිතින් ප්ලාස්ටික් භාවිතය අනවශ්‍ය ආකාරයට වැඩිවෙමින් පවතිනවා. මෙම තත්ත්වය ඉදිරියටත් පැවතුණහොත් දූපත් රාජ්‍යයක් ලෙස ශ්‍රී ලංකාවට කෙබඳු බලපෑමක් ඇතිවේවිද?

අපේ රට දූපතක්. අපි වෙන් වෙන්නේ ඉන්දියාවෙන්. අපේ රට දූපතක් උනත් ඉන්දියාවේ තිබෙන බොහෝ ජෛවීය ලක්ෂණ අපේ රටේ තිබෙනවා. දූපතක් ලෙස පරිසරය විනාශ උනොත් එය යළි ගොඩනගා ගන්න කොහෙන්වත් ගන්න බැහැ. මහාද්වීපයක කොටසක් විනාශ උනොත් ඒ මහාද්වීපයේ ස්වභාවිකත්වයට ඉඩ දුන්විට එය යළි නිර්මාණය වෙනවා. නමුත් දූපතක පරිසරය දූෂණය උනොත් සතුන් ශාක වඳ වෙලා යනවා. දැනටමත් එය ලංකාවේ සිදුවෙනවා. 2012 රතු දත්ත වාර්තාවට අනුව ලංකාවේ වඳ වී යන සත්ත්ව ශාක ප්‍රමාණය වැඩි වී තිබෙනවා. කොපමණ ගංගා ජලය තිබුණත් ජලය දූෂණය වීම වැඩිවෙලා තිබෙනවා. මේ තත්ත්වය යළි යථා තත්ත්වයට පත්කරගන්න තවත් අවුරුදු 200ක් විතර ගත වෙනවා. දූපතක පරිසර දූෂණය උනොත් එය සමස්ත ජනතාවට, සතුන්ට, ශාකවලට, භූමියටම බලපානවා. පොළොන්නරුව ප්‍රදේශයේ සෑම නිවසකම එක වකුගඩු රෝගියෙකු හෝ හමුවීම එම ඛේදවාචකයේ එක් කොටසක්. පරිසරය දූෂණය වීමේ ප්‍රතිඵලයක්. මහරගම පිළිකා රෝහලේ පිළිකා රෝගීන් වැඩි වෙලා. නාගරික ප්‍රදේශවල නිවෙස්වල ප්ලාස්ටික් ඉවත් කිරීමට ස්ථාන නැති නිසා ඔවුන් ඒවාට ගිනි තියනවා. එවිට ක්ෂ්ද්‍ර ප්ලාස්ටික් අංශු වාතයට එකතුවෙලා අපේ ශ්වසන මාර්ගය තුළින් ශරීරගත වෙනවා. ඒවා ශරීරයේ තැන්පත් වෙලා පිළිකාකාරක බවට පත්වෙනවා. මේ ආකාරයට බරපතළ තත්ත්වයකට පත්වෙලා තිබෙනවා.

මෙම තත්ත්වය පාලනය කරගැනීමට ජනතාවට සහ පාලකයන්ට වගකීමක් තිබෙනවා. අපි ඒ ගැන කතා කරනවා නම්?

පාලකයන් පත් කර ගන්නේ ජනතාව විසින්. ඒ නිසා මුලින් ජනතාව ගැන කතා කරමු. ලෝකය කියන්නේ සමස්ත ජාලයක්. අපි එයින් එක කොටසක් පමණයි. බුදුහාමුදුරුවෝ පවා එය ප්‍රකාශ කර තිබෙනවා. මේ නිසා අපි ලෝකයට ගරු කළ යුතුයි. ලංකාවේ 80෴ක් විතර ඉන්න බෞද්ධයන්වත් තමන්ගේ මූලික ධර්මය අනුගමනය කරන්නේ නැති තැනට පත්වෙලා ඉන්නවා. මේ සියල්ල එකම පද්ධතියක කොටස් බව මිනිස්සු පිළිගන්න සූදානම් නැහැ. අඩුම තරමේ ලංකාවේ ඉන්න පරිසරවේදීන්වත් පරිසර හිතකාමී විදිහට ජීවත් වෙනවා නම් ඒක ලොකු දෙයක්. ජනතාව හැදුනොත් පාලකයෝ හැදෙන්න පටන් ගනීවි. ජනතාවට හැදෙන්න බැහැ. ඒ නිසා ඔවුන් අනිත් අය හදන්න උත්සාහ කරමින් ඉන්නවා. මේ නිසා එකිනෙකා එකිනෙකාට රැවටෙමින් ඉන්නවා.
ලංකාවේ රජය ගැන කතා කරනවා නම් අපිට අපේ පරිසරය රකින හැමදෙයකටම නීති තියෙනවා. ගඟට එක නීතියක්, ගඟේ ඉවුරට එක නීතියක්, මාළුන්ට එක නීතියක්. මේ වගේ නිති ගණනාවක් තිබෙනවා. නමුත් මේවා එකක්වත් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. පත්වෙන ආණ්ඩුවලට මේ නීති ක්‍රියාත්මක කරන්න පුළුවන් නම් යම්තාක් දුරකට පාලනය කරන්න පුළුවන්.

අපි සොබාදහම ආගම විදිහට හිතලා ඒ අනුව කටයුතු කරන්න පුළුවන් නම් මේ තත්ත්වය වළක්වාගන්න අපිට පුළුවන් වෙයි. පරිසර හිතකාමී මනුස්සයෙක් හදන්න පුළුවන් නම් අනිත් හැමදේම සිදුවේවි.

-උපුටා ගැනීම : අද වෙබ් අඩවිය

Avatar

About අද වෙබ් අඩවියෙන්

View all posts by අද වෙබ් අඩවියෙන් →