ඉස්ලාමිය ෂරීආ යනු කුමක්ද?

“මුස්ලිම්වරයෙකු අනුගමනය කළ යුතු සාරධර්ම, යහ ගුණාංග හා ආගමානුකූල ව අනුගමනය කළ යුතු කරුණු රැගත් /අන්තර්ගත මගපෙන්වීම් මාලාව ෂරීආ වේ.”
හැඳින්වීම :
මෙම මාතෘකාව බොහෝ මුස්ලිම් නොවන උදවිය සහ සමහර මුස්ලිම් උදවිය ද වැරදියට වටහා ගත් මාතෘකාවක් හැටියට සඳහන් කළ හැක. ෂරීආ යනු නීතියක් වශයෙනුත්, එය ඉතා කුරිරු හා දරුණු අමානුෂික කරුණු අන්තර්ගත ඉස්ලාම් ආගමික සංකල්පයක් හැටියනුත් හුවා දක්වා ඇත. මෙම චෝදනාව සාවද්‍ය චෝදනාවකි. ඇත්තෙන් ම, මුස්ලිම් විරෝධී පුද්ගලයන් හා සමහර ජන මාධ්‍ය මෙම බොරු ප්‍රචාරය ඕනෑකමින් ම සමාජගත කිරීමට උත්සාහ දරා ඇත.

01.වචනාර්ථය
ෂරීආ යන අරාබි පදයේ වචනාර්ථය මාවතක්, නිවැරදි මගක් යන්න වේ. මෙම වචනය අල්-කුර්ආනයේ විවිධාකාර ව ස්ථාන පහක භාවිතා කොට ඇත.

02.පාරිභාෂිත අර්ථය
මුස්ලිම්වරයෙක් ඉස්ලාම් ආගම අනුව තමාගේ ජීවිතය හැඩගස්වා ගත යුතුය. එසේ ආගමානුකූල ව තම ජීවිතය හැඩ ගස්වා ගැනීමට අවශ්‍ය කරුණු අඩංගු මගපෙන්වීම් මාලාව ෂරීආ වේ. එහි නැමදුම්, ආචාර, කල්ක්‍රියා, නීතිරීති මෙන්ම දේශපාලන, ආර්ථික, සමාජයීය සිවිල් හා තනි පුද්ගල අයිතිවාසිකම් මෙන්ම සමාජීය අයිතිවාසිකම් ද අන්තර්ගත වේ. කෙටියෙන් කිවහොත්, ෂරීආ යනු මුස්ලිම්වරයෙකු තම මුළු ජීවිතය ම ඉස්ලාම් ආගමානුකූල ව හැඩගස්වා ගන්නා ජීවන මඟ වේ.

03.ෂරීආව අනුගමනය කිරීම වරදක් ද?
ඕනෑ ම ආගමක්, දහමක් අනුගමනය කරන පුද්ගලයෙකු එම ආගමට අනුකූල ව කටයුතු කිරීම සාමාන්‍ය සිරිතකි. උදාහරණයක් වශයෙන් හින්දු ආගම විශ්වාස කරන පුද්ගලයෙක් හින්දු ආගමානුකූල ව කටයුතු කිරීමට උත්සුක වේ. ආගම්, දහම් මිනිසාගේ යහපැවැත්ම උදෙසා පවතින හෙයින් මෙය වරදක් ලෙස චෝදනා කළ නොහැක. එසේ ම,මුස්ලිම්වරයා ද ඉස්ලාම් ආගම මඟ පෙන්වන ආකාරයට ජීවත්වීමට වෙර දරයි. මෙසේ ඔහුගේ ජීවිතය හැඩගස්වා ගනු ලබන්නේ ෂරීආව මගපෙන්වන ආකාරයට ය. සෑම මුස්ලිම්වරයෙකුගේ ම ජීවිතය ෂරීආව පවසන ආකාරයට හැඩ ගැසී තිබිය යුතුයි. මෙයින් අදහස් වන්නේ ඉස්ලාම් ආගමානුකූලව තිබිය යුතු යි යන්න ය. ඇත්තෙන් ම, ෂරීආහි අන්තර්ගත වන සෑම කරුණක් ම මානව හිතවාදී හෙයින් එය කිසිවිටෙක තව කෙනෙකුගේ අයිතිවාසිකමක් උදුරා නොගනියි. එසේ ම, අමානුෂික කුරිරු අදහස් ද එහි කිසි විටෙකත් සඳහන් වී නොමැත. ඉස්ලාමීය ඉතිහාසයේ මිලේච්ඡ, තිරිසන් සමාජයක් හැටියට ජීවත් වුණු අරාබි ජාතිකයින් ෂරීආව මගින් ගුණ යහපත් ලෙස හැසිරෙන මනුෂ්‍ය සමාජයක් වශයෙන් වෙනස් කරන ලදී.

04.ෂරීආහි අන්තර්ගතය
අප සියලු දෙනා දන්නා පරිදි මුස්ලිම්වරු දිනපතා පස් වතාවක් සලාතය (දෙවියන් නැමදීම) ඉටු කරති. මෙය නියමිත වේලාවට ඉටු කිරීම ෂරීආ වේ. එසේ ම, මුස්ලිම් හා මුස්ලිම් නොවන සියල්ලන්ට ම උදව් උපකාර කිරීම, යහපත් චරිතයක් වීම, අසරණ අයට පිහිට වීම, තම ධනයෙන් අන් අයට ලැබිය යුතු දෑ දීම, පරිත්‍යාගශීලී ව කටයුතු කිරීම, උපවාස ශීලයේ යෙදීම, හජ් කර්තව්‍යයේ නියැලීම, දෙමව්පියන්ට උදව් උපකාර කිරීම, සාධාරණය වෙනුවෙන් පෙනී සිටීම, අසාධාරණයට එරෙහි වීම, අන් අයට අපරාධ නොකිරීම, අන් අයට තාඩන පීඩන, හිරිහැර අපහාස ඇති වන ආකාරයට නොහැසිරීම වැනි සෑම දෙයක් ම ෂරීආහි අන්තර්ගත ව ඇත. මෙහි දී ෂරීආ යනු නීතියක් ද යන ප්‍රශ්නය නැගේ.. ඇත්තෙන් ම, ෂරීආ යනු හුදෙක් නීතිය පමණක් නොව, ෂරීආ යනු මුස්ලිම්වරයකුගේ පරිපූර්ණ සදාචාරාත්මක ජීවන මඟ හෙයින් එහි නීතිරීතිත් ඇතුලත් වේ.
උදාහරණයක් වශයෙන් සලාතය ඉටු කිරීම ෂරීආ වේ. එය කෙසේ ඉටු කළ යුතු ද යන නීතිරීතිත් ෂරීආහි විග්‍රහ කෙරේ.
ෂරීආහි අන්තර්ගත කරුණු පහත දැක්වෙන ආකාරයට විග්‍රහ කළ හැක :
I.ඉබාදත් – දේව නැමදීම හා සම්බන්ධ කරුණු, වතාවත්
II.අහ්ලාක් – යහ ගුණාංග
III.මුආමලාත් – ගනුදෙනු හා දෛනික ජීවිතය
IV.මුනාකහාත් – ආවාහ විවාහ
V.අහ්කාම් – නීතිරීති, ක්‍රම සහ විධි
මුස්ලිම්වරයෙකුගේ ජීවිතයේ ඉහත මාතෘකාවන් හා සම්බන්ධ සෑම කටයුත්තක් ම ෂරීආව මග පෙන්වන ආකාරයට තිබිය යුතු ය.

05.ෂරීආහි අරමුණු
ෂරීආහි ප්‍රධානතම අරමුණ යහපත ගෙන ඒම හා අයහපත වළක්වාලීම වේ. මෙම නිසා ෂරීආ මගින් දෙයක් අණ කොට ඇත්නම්, නැතහොත් දෙයක් වළක්වා ඇත්නම් එහි පරමාර්ථය වන්නේ යහපතක් ගෙන ඒම හෝ අයහපතක් වළක්වාලීම වේ. උදාහරණයක් වශයෙන් මත්පැන් පානය කිරීම ෂරීආ මගින් තහනම් කොට ඇත. මෙයට හේතුව මිනිස් ශරීරයට හා බුද්ධියට මත්පැන් පානය තුළින් හානි ඇති වන හෙයිනි. මෙවැනි උතුම් අරමුණු රාශියක් ෂරීආහි දැකගත හැක. එවැනි අරමුණු වලින් ප්‍රධානතම අරමුණු පහක් පහත දැක්වේ.

I.දහම සුරක්ෂිත කිරීම
ෂරීආ මගින් ආගමික නිදහස සුරක්ෂිත වේ. ඕනෑම කෙනෙකුට ඕනෑම ආගමක් තෝරාගැනීමේ, විශ්වාස කිරීමේ හා නිදහසේ එය පිළිපැදීමේ අයිතිය ඇත. ඉස්ලාම් දහම අනුව කිසිකෙනෙකුට කිසියම් ආගමක් කෙරෙහි බලපෑම් කළ නොහැකි ය. මෙය, අල්-කුරානය ඉතාමත්ම පැහැදිලි ව සඳහන් කරයි.
“දහමෙහි කිසිදු බල කිරීමක් නොමැත” (අල් කුරානය 2:256)

II.ජීවිතය ආරක්ෂා කිරීම
ෂරීආහි අරමුණු වලින් තවත් වැදගත් අරමුණක් හැටියට ජීවිත ආරක්ෂාව තහවුරු කිරීම කිව හැක. කිසි ම අවස්ථාවක කිසි ම ජීවිතයකට අපරාධයක්, හිරිහැරයක් සිදු කිරීමට තවත් කෙනෙකුට කිසිදු අයිතියක් නොමැත. කෙනෙක් තවත් කෙනෙකුට අපරාධයක් කිරීම ෂරීආ මගින් සම්පූර්ණයෙන් ම තහනම් කොට ඇත.එසේ ම, කෙනෙක් තවත් කෙනෙක්ව සාපරාධී ව මරා දමන්නේ නම්, ඔහු මුළු මිනිස් සමාජය ම මරා දැමූ පවට ලක් වෙන බව අල්-කුරානය සඳහන් කරයි (බලන්න: අල්-කුරානය පස්වැනි පරිච්ඡේදය තිස් දෙවැනි වාක්‍යය) එසේ ම, නබි මුහම්මද් (සල්ලල්ලාහු අලෛහිවසල්ලම්) තුමාණෝගේ නබි වදන් අනුව කෙනෙක් තවත් කෙනෙකුට අඹමල් රේණුවක තරම් හෝ අපරාධයක්, හිංසනයක් සිදු කරන්නේ නම් එම අපරාධයට ලක් වූ තැනැත්තා සමාව දෙන තුරු දෙවියන් වහන්සේ කිසිවිටෙකත් සමාව නොදෙන බවට සඳහන් කළෝය.
ෂරීආ පිළිබඳව නිසි දැනුමක් නොමැති ව චෝදනා නගන බොහෝ උදවියට මෙම කරුණු කාරණා ඉතාමත් වැදගත් වේ යැයි සිතමි. ඇත්තෙන් ම, ෂරීආව තම ජීවිතය ආරක්ෂා කිරීමට මග පෙන්වන අතර, අනෙකාගේ ජීවිතය ද ආරක්ෂා කර ගැනීමට මඟ පෙන්වයි. මේ හේතුවෙන් සියදිවි නසා ගැනීම ද ඉස්ලාමීය ෂරීආව මහා පාපයක් ලෙස සළකයි.

III.බුද්ධිය ආරක්ෂා කිරීම
මුස්ලිම්වරයෙකු සෑම අවස්ථාවක දී ම සන්සුන් ව හා සිහිබුද්ධියෙන් කටයුතු කිරීම අවශ්‍ය වේ. සිහිබුද්ධියට හානි ඇති කරවන සෑම ක්‍රියාවක් ම ඉස්ලාමීය ෂරීආව තහනම් කොට ඇත. උදාහරණයක් වශයෙන් මත්ද්‍රව්‍ය භාවිතා කිරීම ඉස්ලාමීය ෂරීආව තහනම් කොට ඇත.

IV.දේපල හා ධනය ආරක්ෂා කිරීම
තමන් උපයන ධනය හා දේපල සොරකමින් හා මංකොල්ලකෑම් වලින් ආරක්ෂා කර ගත යුතුයි. මෙය තනි පුද්ගල අයිතිවාසිකමකි. මෙම අයිතිවාසිකම ආරක්ෂා කොට තහවුරු කිරීම ෂරීආවේ තවත් අරමුණක් හැටියට පෙන්වා දිය හැක. උදාහරණයක් වශයෙන් යහපත් අයුරින් ඉපැයීමට ඉස්ලාමීය ෂරීආව මග පෙන්වන අතර හා සොරකම තහනම් කර ඇත.

V.රට හා රටේ නීතිරීති ආරක්ෂා කොට සුරක්ෂිත කිරීම.
පොදුවේ ඕනෑම රටක් හා එහි නීති රීති මානව අභිවෘද්ධිය හා යහපත උදෙසා පවතියි. මානව හිතවාදී සෑම කරුණක් ම සුරක්ෂිත කොට, ආරක්ෂා කිරීම ෂරීආවේ වැදගත් පරමාර්ථයක් ලෙස, රට හා රටේ නීතිරීති ආරක්ෂා කිරීම ද ෂරීආ වේ ප්‍රධාන අන්තර්ගතයක් වී ඇත. මේ අනුව මුස්ලිම්වරයෙකු යම් රටක ජීවත් වන විට යුක්තියෙන්, සාධාරණයෙන් හා මානව හිතවාදී ව කටයුතු කරමින් එම රටේ හා එහි නීති රීති ආරක්ෂා කොට ජීවත් වීමට ෂරීආව දිරිමත් කරයි. එසේ ම, එයට විරුද්ධ ව කටයුතු කළේ නම්, ඔහු ෂරීආවට අනුව, ෂරීආවට විරුද්ධ ව කටයුතු කළ තැනැත්තෙකු ලෙස සැලකේ. යුද්ධය හා සාමය පිළිබඳ වූ කරුණු ද මේ හා බැඳේ. අයුක්තියට එරෙහිව සාධාරණය වෙනුවෙන් රටේ පැවැත්මට හා එහි ජීවත්වන ජනතාවගේ සුබසිද්ධියට අවශ්‍ය මෙම කරුණු එහි ජීවත් වන මුස්ලිම්වරුන් අනුගමනය කළ යුතු යැයි ඉස්ලාමය මග පෙන්වයි. උදාහරණයක් වශයෙන් රටේ නීතිරීති උල්ලංඝනය කිරීම වැරැද්දක් හැටියට ඉස්ලාමය සැලකීම පෙන්වා දිය හැක.

VI.පරපුර ආරක්ෂා කිරීම
පිවිතුරු හා පවිත්‍ර අනාගත පරපුරක් ගොඩනැංවීම සඳහා ඉස්ලාමය අපචාරය හා අශීලාචාර මෙන්ම අනියම් ලිංගික ඇසුරුකම් ද වරදක් ලෙස සලකයි. මෙතුළින් පවුල් සංස්ථාව සහමුලින් ම කඩාකප්පල් වෙන බවත්, සමාජ පිරිහීමට මෙය තුඩු දෙන බවත් ඉස්ලාමය අවධාරණය කරයි. මේ හේතුවෙන් ස්ත්‍රී-පුරුෂ සම්බන්ධතාවන් කෙරෙහි ඉස්ලාමය යහපත් මගපෙන්වීම් මාලාවක් ඉදිරිපත් කොට ඇත. එම මගපෙන්වීම් මිනිස් බුද්ධිය පිළිගත හැකි ආකාරයට විග්‍රහ කොට ඇති අතර, එය ප්‍රායෝගික ව ක්‍රියාවට නැංවීමට ද හැකි වන ආකාරයට පහසු කොට ඇත.
උදාහරණයක් වශයෙන් කාන්තා හා පිරිමි වස්ත්‍රය, සමලිංගික සේවනය තහනම් කිරීම යනාදිය කිව හැක.
මෙම ප්‍රධාන අරමුණු හය සාක්ෂාත් කරගැනීමේ පරමාර්ථයෙන් ෂරීආව යම්කිසි මගපෙන්වීමක් මුස්ලිම්වරුන්ට ඉදිරිපත් කර ඇත. කෙටියෙන් කිවහොත් ෂරීආ ව මගින් යහපතක් ස්ථාපිත වේ, නැතිනම් අයහපතක් වැළැක් වේ.

අවසානය
ඉස්ලාම් විරෝධී මාධ්‍ය හා පුද්ගලයන් විසින් පදනම් විරහිත ව ප්‍රචාරය කරන මාතෘකාවක් හැටියට ෂරීආ යන මාතෘකාව කිව හැක. ඇත්ත වශයෙන් ෂරීආ යනු කුරිරු නීතියක් හෝ මූලධර්මයක් නොව එය මුස්ලිම්වරයෙකුගේ සදාචාරාත්මක ජීවන මඟ වේ. එතුළින් මුස්ලිම් ජනයා සංවර ව හා ආගමානුකූල ව තම එදිනෙදා කටයුතුවල නියැලෙති.

– අබූ අයියාද් විසින්